ක්‍රිස්තු පූර්ව 507 දී ග්‍රීසියේ ක්ලයිස්තිනස් පළමු වරට ඩිමොක්‍රටියා (Demokratia )නම් සංකල්පය ලොවට හදුන්වා දුන්නේ ය.ඩිමොක්‍රටියා යනුවෙන් අදහස් කරන්නේ ජනතාවගේ බලය යන්නයි .එය ජනතාව විසින් ජනතාව සදහා ගෙන යන ජනතාවගේ ම පාලන ක්‍රමයක් වේ.නූතනයේ දී එය ප්රජාතන්ත්රවාදය ලෙස හදුන්වයි.ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රම එහි මූලධර්මයට අනුව දෙවැදෑරුම් ය.එනම් සෘජු ප්රජාතන්ත්රවාදය සහ නියෝජිත ප්රජාතන්ත්රවාදය ලෙස ය.මේ අතරින් අප රටේ ක්‍රියාත්මක වන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදය යි.

ක්ලයිස්තිනස් මිය ගොස් මේ වන විට අවුරුදු තුන්දහසකටත් වඩා වැඩි ය.එවන් පසුබිමක ක්ලයිස්තිනස් ඉදිරිපත් කළ ප්රජාතන්ත්රවාදී මූල ධර්ම අප රටේ කෙතරම් දුරට ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලිය යුතුය .මක් නිසා ද යත් අප නිදහස ලබා ගැනීමෙන් පසු බලයට පත් සෑම ආණ්ඩුවක්ම ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ලෙස ඉතිහාසයේ සටහන් කර ඇති නිසා ය.කිසියම් රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක වීමේ ප්‍රමාණය නිරපේක්ෂව මැනිය හැක්කක් නොව සාපේක්ෂව මැනිය යුතු සංසිද්ධියක් බව පළමුව පිළිගත යුතුය .පූර්ණ ප්රජාතන්ත්රවාදී රාජ්‍යය වු කලී හුදු කල්පිතයක් පමණි .එබඳු මනෝරාජ්‍යයක් පිළිබඳව සිහින මැවීම පවා අතිශය ප්‍රෝඩාකාරී අභව්‍ය සිතුවිල්ලකි.
බොහෝ ප්රජාතන්ත්රවාදී ආසියානු රටවල් ආසියානු සංවර්ධන මිම්ම ලෙස සලකන්නේ සිංගප්පූරුව යි.දූෂණය සහ නාස්තිය අවම කර සංවර්ධනය අතින් කලාපයේ ප්රජාතන්ත්රවාදී රාජ්‍යය අතරින් ප්රශස්ත මට්ටමක ට පැමිණීමට සිංගප්පූරුව ට හැකි වී ඇත .සිංගප්පූරු ජාතිකයකු ගේ ඒක පුද්ගල ආදායම කලාපයේ සෙසු ප්රජාතන්ත්රවාදී රාජ්‍යය වල ට වඩා ඉහළින් පවතින බව අවිවාදිත ය.විටෙක රටේ අයවැය පරතරය ඉහළ ධන අගයක පැවති නිසා එහි වාසිය සෑම රටවැසියකටම ලබා දුන් එක ම ආසියානු කලාපීය රාජ්‍යය ද වන්නේ සිංගප්පූරුව යි.එසේ නම් සිංගප්පූරුව එබඳු කැපී පෙනෙන වර්ධනයක් වෙත ගමන් කළේ පූර්ණ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ ද යන්න විමසා බැලිය යුතුය .

සිංගප්පූරුව ද සෙසු ආසියානු කලාපීය රටවල් බොහොමයක අනුගමනය කරන නියෝජිත ප්රජාතන්ත්රවාදය සිය රාජ්‍යය පාලනයේ මූලික රාමුව ලෙස සලකයි .ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නියමිත අන්දමින් මැතිවරණ පවත්වා මහජන නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට ජනතාව ට බලය ලබා දී ඇත .මෙසේ තෝරා පත් කර ගනු ලබන මහජන නියෝජිතයින් අතිශය පාරදෘශ්‍ය ආකාරයට කටයුතු කළ යුතු අතර කිසිදු ආකාරයේ දූෂණ චෝදනාවකට ලක් නොවීමට වග බලා ගත යුතුය .තවද තම තමන් ගේ වත්කම් -බැරකම් ප්‍රකාශන ප්‍රසිද්ධ කළ යුතුය .නූතන සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වන ලී ක්වාන් යු සිගප්පූරුවේ සුක්කානම අතට ගත් වහාම දූෂණය සහ නාස්තිය අවම කිරීමට බලවත් ශක්තිමත් යාන්ත්‍රණයක් බල ගැන්වු අතර ඉතා කෙටි කලකින් දූෂණය ට සහ නාස්තිය ට තිත තැබීමට සිංගප්පූරුව සමත් විය .මෙහිදී ප්රජාතන්ත්රවාදය සමග පෙරට එන මානව හිමිකම් හමුවේ ලී ක්වාන් යු ඉදිරිපත් කළ මතවාදය සිත්ගන්නා සුළුය.එය එක් අතකින් මානව හිමිකම් විශ්වීය යන න්‍යාය බලවත් ලෙස අභියෝගය ට ලක් කරයි.මානව හිමිකම් වටිනාකම් පිළිබඳව වූ ලී ක්වාන් යු ගේ දර්ශනයට අනුව මානව හිමිකම් පිළිබඳව ගෝලීය ඒකමතිකත්වයක් පැවතිය නොහැකි ය.එය අප්‍රිකානු වටිනාකම් ආසියානු වටිනාකම් සහ යුරෝපීය වටිනාකම් ලෙස කලාප වශයෙන් විභේදනය කළ යුතු ය.එම විභේදනයේ ද්විතීයික අවස්ථාවක් ද පවති.ඒ අනුව කිසියම් රාජ්‍යයකට ද මානව හිමිකම් පිළිබඳව වටිනාකම් තිබිය හැකි ය .එම ද්විතීයික විභේදනය ට අනුව සිංගප්පූරුවට ද අනන්‍ය වූ මානව හිමිකම් වටිනාකම් පවති.ඒවා සිගප්පූරු මානව හිමිකම් වටිනාකම් ය.
ලී ක්වාන් යු ට උක්ත පරාමිතියක් කරා යාමට සිදු වුයේ මන්ද? මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංවර්ධනය යන්න එකමත අතිපිහිත කළ හැකි සංසිද්ධි දෙකක් නොවන නිසා ය.මානව හිමිකම් පිළිබඳව සිගප්පූරු වටිනාකම් සංකල්පය බිහි වන්නේ උක්ත සංදර්භය තුළ ය.එහිදී ප්රජාතන්ත්රවාදයේ ඇතැම් මූලික හරයන් අභියෝගය ට ලක් වේ.උද්ඝෝෂණ ,වැඩවර්ජන වැනි අයිතිවාසිකම් සම්බන්ධව කිසියම් පාලනයක් සිංගප්පූරුවේ පවතින බව නොරහසකි .එහෙත් ක්ලයිස්තිනස් ඉදිරිපත් කළ ප්රජාතන්ත්රවාදී මූලධර්ම වලට අනුව ප්රජාතන්ත්රවාදය යනු ජනතාව විසින් ජනතාව උදෙසා පවත්වාගෙන යනු ලබන ජනතාව ගේ පාලන ක්රමයකි.එසේ නම් එය ජනතා හිතවාදි පාලනයන් විය යුතු අතර යහපාලන මූලධර්ම අනුගමනය කරන ජනතාව ට වගකියන සහ ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කරනු ලබන රාජ්‍යය පාලන න්‍යායක් විය යුතුය .පාලනය පිළිබඳව ජනතාව තුළ බළාපොරොත්තු දැල්විය හැකි විශ්වාසයක් ඇති කිරීමට කිසියම් රාජ්‍යය ක් සමත් වන්නේ නම් එකී රාජ්‍යය ස්ථාවර රාජ්‍යය ක් වන අතර සවිමත් ආර්ථිකයකට ද හිමිකම් කියයි.රාජ්‍යය පාලන ක්‍රමවේදය දූෂණය සහ නාස්තියෙන් වියුක්ත වන්නේ නම් ජනතාව ට රජය ට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය නොවේ.අද සිංගප්පූරු ආර්ථික මොඩලය හරහා කියවෙන පණිවිඩය වන්නේ එයයි .
කෙසේ වතුදු ඕනෑම රාජ්‍යය ක තිරසාර පදනම දෙදරවීමට විවිධ බලවේග ක්‍රියාත්මක විය හැක .මෙම බලවේග මර්ධනය කිරීම රාජ්‍යයේ යුතුකම සහ වගකීම වන්නේ ය.රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත් සිංගප්පූරුවේ එබදු රාජ්‍යය විරෝධී බලවේග නිෂ්ක්‍රීය වී ඇත .අනෙක් අතට අතිශය විනිවිද පෙනෙන සුළු පාලන ක්‍රමවේදයක් පවත්වාගෙන යන සිංගප්පූරුවේ එවැනි රාජ්‍යය විරෝධී බලවේග වලට අවකාශයක් තිබිය නොහැක.
එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් ය.
ශ්‍රී ලංකාව නිදහසින් පසු අවුරුදු හැත්තෑ පහක් තිස්සේ පාරිහානික රාජ්‍යය ක් ලෙස ලැයිස්තු ගතව ඇත .මෙම රාජ්‍යයේ දූෂණය සහ නාස්තිය පිළිබඳව විවිධ චෝදනා එල්ල වේ.තවද මෙම රාජ්‍යයේ බහුතර ජනතාව ට රටේ පාලන ක්‍රමවේදය පිළිබඳව අවිශ්වාසයක් පවති.මෙය අතිශය බරපතළ තත්ත්වය කි.මෙම අවිශ්වාසය නිසා ම රටේ කවර නම් සංවර්ධන කාර්යයක් සම්බන්ධයෙන් වුවද සැකයකින් සහ අවිශ්වාසයකින් බැලීමට ජනතාව පෙළඹී ඇත.මෙය රටක ප්රගමනය කෙරහි අතිශය අහිතකර බලපෑමකි.රාජ්‍යය කෙරහි ජනතාව ගේ විශවාසය නොමැති විට ජනතාව සෑම කල්හිම රාජ්‍යය විරෝධී ආස්ථානයක් කරා ගමන් කරයි .රාජ්‍යයේ සතුරු බලවේග වල වල වර්ධනය සදහා මෙය කදිම පෝෂකයක් ද වේ.අද ශ්‍රී ලංකාවේ දක්නට ඇති ඛේදජනක ඉරණම මෙයයි .එහෙත් මේ ඉරණම මෙරට ජනතාව ට වෙනස් කළ නොහැකි ද ? දූෂණය සහ නාස්තිය වියුක්ත කිරීම සංකල්පීය වශයෙන් නොපිළිගන්නා අයෙකු මෙරට තුළ සිටිය නොහැක.එහෙත් සියලුම දෙනා එය සංකල්පීය වශයෙන් පිළිගත්තද බොහෝ දෙනෙකු එය භාවිතයේ දී නොපිළිගන්නා බව නොරහසකි .

දූෂණය සහ නාස්තිය වියුක්ත කිරීම ආරම්භ කළ යුත්තේ තමන් දෙඅත් විහිදෙන පරාසය තුළ ය.එක් එක් පුරවැසියා දූෂණය සහ නාස්තිය පිළිබඳව තම තමන් ගේ දායකත්වය නිසි පරිදි ලබා දෙන්නේ නම් සමස්ථ රාජ්‍යය ක්‍රියාවලිය ද නාස්තිය සහ දූෂණය තොර වූ යාන්ත්‍රණයක් බවට පත් වේ.අනිත් අතට රාජ්‍යයේ සියලුම මූල්‍ය ක්‍රියාකාරකම් අතිශය පාරදෘශ්‍ය බව සහතික කළ යුතුය සියලුම දේශපාලන ක්‍රියාධරයින් සිය වත්කම් සහ බැරකම් පිළිබඳව තොරතුරු ජනගත කළ යුතුය .එපමණක්ද නොව සියලුම දේශපාලන පක්ෂ ද ස්වකීය වත්කම් ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.තවද එකී දේශපාලන පක්ෂ වල මූල්‍ය ප්‍රභවයන් ද ප්‍රසිද්ධ කළ යුතුය .
රාජ්‍යයේ ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව තුළ විශ්වාසය ක් ගොඩනැගීම ක්‍රමිකව කළ යුතු අතර ඒ පිළිබඳව ජනතා කතිකාවක් ද නිර්මාණය කළ යුතු ය.
රාජ්‍යයේ ආර්ථික මොඩලය ලිබරල් හෝ නව ලිබරල් හෝ අන් කවරක් වුව එකී ආර්ථික මොඩලයේ අවසන් ඉලක්කය නිශ්චිත ආර්ථික වර්ධනයක් සදහා වූ රාජ්‍යයක් බිහි කිරීම විය යුතුය .

එස් .එම්.ජයසූරිය
