ඔබ දන්නවා අභ්‍යවකාශය නම් වූ ස්ථිර නවාතැනේ සිට තාවකාලිකව යම් කාල සීමාවක් ගත කිරීම සඳහා, පෙර කරන ලද කුසල් බලයෙන් මනුශ්‍ය ජීවිතයක් ලද මිනිසා, පෘථිවි තලයට පැමිණ, තමා විසින් ඉටු කළ යුතු යුතුකම් කොටස හමාර කර නැවත අභ්‍යවකාශය වෙතම යා යුතු බව. මේ ගත කරන කෙටි කාල සීමාව තුළ බිළීඳකු ලෙස , දරුවකු ලෙස, යෞවනයෙකු ලෙස, තරුණයෙකු ලෙස, වැඩිහිටියකු ලෙස සහ මහල්ලක ලෙස මානවයා විසින් විවිධ භූමිකා රඟ දක්වයි.

ඉහත කී මානවයාට අනෙකාගේ සිතුවිලි හැඟීම් තේරුම් ගැනීමට වටහා ගැනීමට හැකි වන පරිදි උසස් වූ මනසක් පිහිටා තිබෙනවා. එමඟින් අතීත අත්දැකීම් තුළින් වර්තමානය ගොඩනගා ගැනීමටත් අනාගතය සැලසුම් කිරීමටත් හැකියාවක් ලැබෙනවා.
එහි ප්‍රධාන සැලැස්මක් ලෙස, තම ලිංගික අවශ්‍යතාවයන් ඉටු කර ගනිමින් වර්ගයා බෝ කිරීමේ ප්‍රධානම නෙනතික බැඳීම වන කසාදය අපට හඳුනා ගත හැකිය. කසාදය නොගැලපේ යැයි සිිතන විට දික්කසාදය විය හැක. පහසුවෙන් විවාහ විය හැකි නමුත් පහසුවෙන් දික් කසාද විය නොහැක. ඒ සඳහා නීතිමය සහය අත්‍යවශ්‍යය.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් නීති ආධාර ඉල්ලා ඇත්තේ දික්කසාද නඩු , නඩත්තු නඩු සහ ගෘහස්ත ප්රචණ්ඩත්වය සඳහා බවය. එය පෙන්වා දෙන අන්දමට 2022 වසරේ පමණක් දික්කසාද නඩු 8431ක් සඳහා නීති ආධාර ලබා දී තිබෙනවා.
ඒ අනුව වර්තමාන දත්ත හා තොරතුරු පරීක්ෂා කර බැලීමේදී විවාහය තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව පැවතීම සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණාවක් බවට පත්ව තිබෙනවා.
ඉතින් අද මා මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ සාර්ථක විවාහ දිවියක් සඳහා උපදෙස් ලබා දීමට නොව යම් මඟ පෙන්වීමක් පමණක් සිදු කිරීම සඳහායි.
ඒ සඳහා විවාහක යුවලක් අතර ඇති වන දෙබසක් පිළිබඳ ලියැවුණු ගීතයක් මා තෝරා ගත්තා. මෙය සුජාතා අත්තනායක මහත්මිය සහ රංජන් ජයතිලක මහතා විසින් ගයන ලද ගීයක්. ඔබේ පහසුව තකා ගීතයේ පද පේළිය ගායනා කරන චරිතය මා විසින් පිරිමි(පි) ලෙසත් ගැහැණු (ගැ) ලෙසත් දක්වා ඇත.
පි -වෙලේ මඩේ අව් ගින්නේ වේලෙනවා – දිවා රැයේ අප වෙනුවෙන් වෙහෙසෙනවා
පි-ඔබේ දහදියෙන් අප ජීවත් වෙනවා – ප්‍රියේ ඔබට මතු බුදු බව අත් වෙනවා
ගැ-දවල් ඇඹුල කුඹුරට ගෙන එයි නිතර – ළමුන් නිසා කරදර බොහොමයි ගෙදර
ගැ-දුකින් කළ ගියත් කිසිදින නැහැ දබර – බුදුන් දැක නිවන් දකිනූ ප්‍රිය සොඳුර
ගැ-හේනත් රැක බලා ගන්නේ ඔබ නොවෙදෝ – කුස ගිනි නිවන්නෙත් අපගේ ඔබ නොවෙදෝ
ගැ-මගෙ නෙත් දෙකින් දුටු ඉටු දෙවි ඔබ නොවෙදෝ.-මගෙ මොන පිනක් හින්දා ඔබ ලැබුනේදෝ
පි-දරටික කඩා ගන්නට ලන්දට යනවා – හිමිදිරියේම කිරි දොවලා විකුණනවා
පි-හැම වැඩකටම මාගේ ඔබ දිරි දෙනවා – සත්තයි මතුත් ඔබ මගෙ බිරිඳම වෙනවා
මෙම ගීතය විවාහක ගැමි යුවලක් විසින් ගයන ගීතයකි. මෙහි පදවල වචන අනුව විවාහක සැමියා හා බිරිද එකිනෙකා විසින් කරනු ලබන කාර්යයන් පිළිබඳව මනා ලෙස වටහා ගෙන ඇති බව කියැවෙනවා. දෙදෙනාම තම පවුලේ දියුණුව වෙනුවෙන් ජීවන අරගලය ජය ගැන්මට දුක් විඳිමින් වෙහෙසෙන බවත් දෙදෙනාගේම වගකීම් පිළිබදව දෙදෙනාටම මනා වැටහීමක් ඇති බවත් කියැවෙනවා. ඒ වගේම දෙදෙනාම එකිකෙනාගේ කාර්යයන් අගය කරමින් අනෙකාගේ වටිනාකම පිළිබඳ මනා වැටහීමකින් ජීවත් වන බව පෙනෙනවා. අවසානයේදී දෙදෙනාම එකිනෙකා ලොවේ අනියත බව වටහා ගෙන නිවන් මඟ අවබෝධ කරගත යුතු බවට ප්‍රාර්ථනා කරගන්නවා.
සරල ජීවිතයත්, සරල සිතුම් පැතුම්, සාමකාමී බව එකිනෙකාගේ ගරුත්වය, තමාට පැවරී ඇති කාර්යයන් පිළිබඳ මනා අවබෝධය, හැම භවයකම එකතු වන්නට පැතීම වැනි සුන්දර ධනාත්මක වටිනාකම් රැසක් මේ ගීතය තුළ ගැබ්ව පවතිනවා.
මා මීලඟට තවත් ගීතයක් වෙත ඔබේ අවධානය යොමු කරවනවා. මෙය ඉන්දිකා උපමාලී ගායිකව විසින් ගයන ලද්දක්.
රෑ මැදියම මත් වූ තොටියෝ – ඔරු පදින්න මා කැඳවන
නුඹ විතරක් එතෙරට යන -රැ මැදියම මත් වු තොටියෝ
මාස් වැස්ස ඉවර වෙලා -අලුත් වතුර ගලන ගඟේ
මල් නෙළුවා මතකද තොටියෝ
ඔරුව පෙරළුනත් ගඟ මැද මාව අරන් නුඹෙ තුරුලට.
එතෙර කළා මතකයි තොටියෝ
රුවල් නගා යන නැව් දැක සසල වෙලා බැලුවත් ඔබ
නැව් නගින්න හිත නෑ තොටියෝ
නුඹෙ ඔරුවෙන් යළි දවසක කුමුදු පිපුණ හඳ එළියක
එතෙර වන්න ආසයි තොටියෝ
විවාහය තුල පවතින වැදගත්ම සාධකය තමයි ලිංගික තෘප්තිය. බොහෝ දෙනා විවෘතව සාකච්ඡා කිරීමට අකමැති වුවත් අප අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක් තමයි ලිංගිකත්වය.

විවාහක යුවලක් අතර සංසර්ගය සිදු වීමේදී උපතින්ම ලැජ්ජාසහගත කාන්තාවකගේ ලිංගික හැඟිම් පිළිබඳ තමයි ඉහත ගීතයෙන් කියැවෙන්නෙ.
මෙහි තොටියාට සමාන කර ඇත්තේ තම සැමියායි. රෑ මැද අනුරාගයෙන් මත්ව තම ලිංගික අවශ්‍යතා තෘප්ත කර ගැනීමට පැමිණෙන සැමියා පමණක් ලිංගික සංසර්ගයේදී සුරතාන්තයට පත්වේ. එය පළමු කොටසින් දැක්වේ.
ගීතයේ දෙවන කොටස ඉතා වැදගත්. කාන්තාවට මාසික ඔසප්විමෙන් පසුව ඇතිවන පළමු දින කීපය සරු කාලයයි. එම කාලය තුළ කාන්තාවකගේ ලිංගික ආශාවන් වර්ධනය වේ. මෙම කාලයේ සැමියා උපරිම ලිංගික ආශ්වාදයක් ලබා ගනී. බිරිඳට පෙරාතුව සුරතාන්තයට පත් වූවත් බිරිඳව සුරතාන්තයට පත් කිරීමට සැමියා වගබලා ගනී. එතුළින් ඔහුගේ ආදරය මනාව පෙන්නුම් කරයි.
තෙවන පද පේළියේදී ඇය හඟවනු ලබන්නේ පෙනුමෙන් අන්‍ය පිරිමින්ගේ සිත ඇදී යන රූ සපුවක් හිමි ඇය වෙත අනියම් යෝජනා පැමිණුනත් ඇය ඒවා අනුමත නොකරන බවය. ඇය පතිවෘත්තාව රකිමින්ම ජීවත් වන බවය. ඇයගේ ආදරය සෙනෙහස මින් මොනවට පැහැදිලි වේ.
ඉහත ගීත ද්විත්වය එකිනෙකට වෙනස් අර්ථ ගෙන දුන්නද ධනාත්මක සිතුවිලි ඇති කරන එකිනෙකාගේ සිතැඟියාව පිළිබඳ මනා වැටහීමක් ලැබිය හැකි උසස් රසවින්දනයෙන් හෙබි ගීතයන්ය.
පවුල් සංස්ථාවක් තුළ එකිනෙකාගේ අදහස් හුවමාරුව ඉතා වැදගත්ය. එතුළින් නොදැනුවත්වම එකිනොගෙන් සිදුවන අත් වැරදීම් , සිත් රිදවීම් පිළිබඳ සමාව ලබා ගැනීමට හා එකිනෙකා වෙනුවෙන් සිදු කරන කැපකිරීම් වෙනුවෙන් ස්තූතිවන්ත වීමට අවස්ථාවක් ලැබේ. එය සාර්ථක යුග ජීවිතයක අඩි තාලමයි. එකිනෙකා වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් අනෙක් පාර්ශවයට තමන් වැදගත් අයකු බව වැටහී යයි. එවිට පවුල තුළ ආරවුල් ඇති වීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. පවුල තුළ ආදරය සෙනෙහස සමඟිය හා සතුට වර්ධනය වේ.
ඉහත සදහන් කර ඇති සුභාවිත ගීත සාර්ථක විවාහ ජීවිතයකට මඟ පෙන්වීමක් සිදු කරනු ලබයි. ඉදින් තව දුරටත් මෙවැනි ගීත සොයා යමින් රසාස්වාදය කිරීම තුළින් මුලින් සඳහන් කළ දික්කසාදයට තිත තැබීමට නව පරපුරේ විවාහක පාර්ෂවකරුවන්ට හැකිවේවායි සුබ පතමි.

සකුන්තලා රැටියල
