ඉගුරු දුරු ඈ යුතු – මල් ගොමු හා වවා වතු…….අතීතයේදී කාන්තාව මුල් කර ගෙන නිරූපිත මේ චිත්‍රය කාලයත් සමග සමාජයෙන් දුරස් වුණා. කාන්තාව රැකියාවන් වෙනුවෙන් යොමු වීම , නිවසක පැලයක් හෝ වගා කරන්න ඉඩ පරිසරය නැති වීම ඒ වෙනුවෙන් වූ සාධාරණ හේතු විදිහට ඉදිරිපත් වුණා. නමුත් මේ සියළු පරිසර සාධක තිබුනත් හිත ඇත්නම් පත කුඩාද කියන්නා සේ ගෙවත්තේ විසිතුරු පැල වගා කරමින් ආදායම් උපයන ඇය ගැන අපේ මාතෘකාව කර ගත්තොත් එහි ආරම්භය වෙනුවෙන් ඇයටම අවසරය ලබා දෙමු.
මගේ නම තක්ෂිලා කුමාරි. මම හෝමාගම පදිංචියි. හෝමාගම මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මම සෙරමික් ආයතනයේ ටික කාලයක් රැකියාව කළා. එතැනින් පසුව මම රැකියාවෙන් අයින් වුණා. විවාහයෙන් පසුව දරුවන් ටිකක් ලොකු වුනාම මට දවල් කාලයේ විවේකය ලැබුණා. මේ විවේකයේදී යම් කිසි විදිහකට ආර්ථික ආදායමක් ලබා ගන්න පුළුවන් දෙයකට කාලය යොදවන්න මම හිතුවා.

දැන් ඔබේ කාලය ගෙවෙන්නේ කොහොමද?
මම කවදත් මල් වගා කරන්න කැමැතියි. පුංචි කාලයේ පටන්ම මම ඒ වෙනුවෙන් ලොකු කැමැත්තක් දැක්වුවා. මල් වගේම විසිතුරු ශාඛ පත්‍ර වගාවත් මම කළා. මේ විදිහට වගා කරන අතරවාරයේ මට කෝමාරිකා වගා කරන්න හිතුවා.
කෝමාරිකා වල විශේෂත්වයක් තිබෙනවාද?
කෝමාරිකා ගැන කිව්වාම අපි දන්නේ ඖෂධ වෙනුවෙන් යොදා ගන්නා කෝමාරිකා විශේෂය ගැන විතරයි. නමුත් කෝමාරිකාවල විවිධ ප්‍රභේද තිබෙනවා. මම තෝරා ගෙන තියෙන්නේ විසිතුරු වගාවක් විදිහට යොදා ගත හැකි කෝමාරිකා විශේෂයක්.
ඒ වගේම කෝමාරිකා පරිසර හිතකාමී වගාවක්. ජලය වගේම පොහොර භාවිතය අඩුයි. සාමාන්‍යයෙන් අපි ශාඛ පැල නිවස ඇතුලත තබා ගන්නේ නැහැ. ශාඛ අපට ඔක්සිජන් ලබා දුන්නත් රාත්‍රි කාලයේදී කාබන්ඩයොක්සයිඩ් පිට කරන නිසා නිවස අභ්‍යන්තරයට සුදුසු නැති බව කියනවා. නමුත් කෝමාරිකා හොඳින් ඔක්සිජන් ලබා දෙන නිසා පරිසර හිතකාමී ශාඛ විශේෂයක්. ඒ නිසා කිසිම බයක් නැතුව නිවස අභ්‍යන්තරයේ තබා ගන්න පුළුවන්.

ඔබ වගා කරන කෝමාරිකා ඖෂධ විදිහට පාවිච්චි කරන්න බැරිද?
මම වගා කරන කෝමාරිකා අතර ඖෂධ විදිහට භාවිතා කරන කෝමාරිකා ප්‍රභේද වගේම විසිතුරු පැල ප්‍රභේද බොහොමයක්ම තිබෙනවා. මම දැන් වසර පහක් පුරා මේ වගාව ව්‍යාපාරික විදිහට කර ගෙන යනවා.මගේ කෝමාරිකා එකතුවේ විශේෂ ප්‍රභේද තිබෙනවා. මේ අතර මම බෝ කර ගත් පැළ බොහොමයක් තිබෙනවා. පැළයක් වටා තවත් පැළ බෝ වෙන නිසා ඉතා පහසුවෙන් වගාව ව්‍යාප්ත වෙනවා.
ඔබේ අලෙවිය
මගේ පැල ගෘහය නිවසේම තිබෙන නිසා හැම දෙනෙක්ම ඒ ගැන දන්නවා. මම නිවසේ කටයුතු කරන අතරේම මේ වගාව පවත්වා ගෙන යනවා. ඒ නිසා මට විශේෂ කාලයක් අවශ්‍ය නැහැ. “සුවහස් මදාරා ” මල් සංගමය මගින් මට ඇනවුම් ලැබෙනවා. අපේ ආසන්න නගරයේත් අලෙවි පොලවල් වෙත පැල ඉදිරිපත් කරනවා. මේ වෙනුවෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මගේ සැමියාගෙනුත් මට ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා.

තවත් කාන්තාවකට ඔබ දෙන පණිවිඩයක් තියෙනවාද?
හැම කාන්තාවකටම තමන්ගේ කාලය ඵලදායී විදිහට යොදවන්න පුළුවන් නම් එයින් පවුලට ආදායම වගේම හරිත පරිසරයක් මැවෙන නිසා පරිසරය ලස්සනයි. ඒ වගේම මානසිකවත් සුවයක් ලැබෙනවා.
සටහන
සිල්වා, සී
