“ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං”
“දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නමැති නෙළුම් විලට, රාජ හංසයකු වැනි වූ හික්මවිය යුතු ජනයා නමැති කුමුදු විල පුබුදු කරන්නා වූ, චන්ද්‍රයා වැනි වූ අඩසඳ මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ, බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මනා කොට වන්දනා කරමි. “
ලොව්තූරා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ යනු මෙරට ආගමික,සංස්කෘතික මතු නොව රාජ්යත්වයේද ප්‍රබලම සාධකයකි.එහි අයිතිය දරන්නේ යමෙක්ද හේ මෙරට රජකමට උරුම ලබන බව අතීතයේ සිට පැවති නියමයකි.මෙරට තුළ දළදා වහන්සේ හා රාජ්යකරණයත්,ජනතාවත් අතර කෙතරම් බැදීමක් ඇත්දැයි සිතා ගැනීමට එයම ප්‍රමාණවත් ය.

මෙරට ලියැවුණ දාඨා වංශය හා මහාවංශය දළදා ඉතිහාසය පිලිබද ප්රබලව ලිඛිත සාක්ෂි සපයන අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශතවර්ෂ අටක් පමණ ඉන්දියාවේම වැඩසිටි දළදා වහන්සේ ගුහසීව රජුගේ දියණිය හා බෑනණුවන් වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරුවන් විසින් මෙරට කිත්සිරිමේඝ රජුගේ කාලයේදී ශ්‍රීලංකාවට වැඩමවන ලදී. ආරක්ෂාව පිණිස හේමමාලාවන්ගේ කෙස්වැටිය තුල සගවා බමුණු වෙස් ගෙන ඔවුන් පැමිණි බව සදහන් වන අතර එය සිහියට නැගෙන මනරම් සිතුවමක් සෝලියස් මැන්දිස් සිත්තරුගේ තෙලි තුඩින් කැළණි විහාරයේ සිතුවම් වී ඉමහත් ප්‍රසිද්ධියට පත් ව ඇත . මෙරට වරින් වර රාජධානි මාරු වීමත් සමග දළදා වහන්සේ ද වැඩ සිටි ස්ථාන කලින් කල වෙනස් විය.මුලින්ම අනුරාධපුර මේඝ ගිරි විහාරයද ඉන්පසු පොළොන්නරුව අටදාගේ, දඹදෙණිය ,කොත්මලේ ,බෙලිගල,යාපහුව ,කුරුණෑගල ,ශ්‍රී ජයවර්ධන පුර,සීතාවක ,මුල්කිරිගල,රත්නපුරය ආදී වශයෙන් තැනින් තැන වැඩමවා අවසානයේ සෙංකඩගල හෙවත් මහනුවරට වැඩමවන ලදී.

මහනුවර මුලින්ම ශ්‍රී දළදා වහන්සේ වැඩසිටි දළදා මාලිගාව ඉදිකරන ලද්දේ පළමු වන විමලධර්මසූරිය රජතුමා (1592-1604) විසිනි . එය පෘතුගීසි ආක්‍රමණයකදී විනාශ වීමෙන් පසු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707-1739) විසින් යළි දෙමහල් මාළිගාවක් ඉදිකරවන ලදී. වර්තමානයේ අපි දකින්නේ ඒ දළදා මාළිගාවයි.

දළදා හිමි පෙළහර පෑ වගයි…
සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශිත ධර්මස්කන්ධය සුවාසූ දහසක් යැයි කියනු ලැබේ.උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිටවූ ඒ සියලු ධර්මය උතුම් දළදා වහන්සේ නිතැතින්ම ස්පර්ශ කොට ඇත්තාහ.එබැවින් දළදා වහන්සේ අති උත්තරීතර වන්නේය.ආශ්චර්යමත් වන්නේය.එවන් උතුම් දළදා වහන්සේ දැකීම,වන්දනා මාන කිරීම,පුද පූජා කිරීම යනු සසරේ කෙනෙකුට පහසුවෙන් අත්කරගත හැකි පුණ්‍ය ක්‍රියාවක් නොවේ.සසරේ තමා රැස්කරගත් සුවිශාල පුණ්‍ය කර්මයන් වලම විපාක වන්නේය. ශ්‍රී ලංකාවට උතුම් දළදා වහන්සේ වඩමවාගෙන එන කල්හි මහසයුර මැද අහසට පැන නැග නේකශ්රීයෙන් මහත් පෙළහර පෑ බව දාඨාවංශයේ සදහන්ය. ක්‍රි.ව. 640 දී උපතිස්ස රජ දවස දළදා වහන්සේ ඇතු පිටින් නගරය පුරා වඩමවාගෙන යන විටදී එතෙක් පැවති මහා නියගය අවසන් කරමින් සතර වටින් මහවැසි ඇද හැලුණු බව චූලවංශයේ සදහන් වේ.

දළදා යුද්ධය අවස්ථාවේ දී ප්රාතිහාර්ය පෑ දළදා වහන්සේ කිණිහිරය මත තබා විනාශ කරන්නට උත්සාහ දරන විට එයින් මෑත්ව අහසට නැගී ප්රාතිහාර්ය පෑහ . දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා තාම්රලිප්ත තොටුපලෙන් නැව් නැගිමට ප්‍රථම වැලි ගොඩක නිදන් කොට තබන ලදී.එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජු දළදා වහන්සේ පැහැර ගෙන නාග ලෝකයට ගිය අතර ඛේම නම් රහතන් වහන්සේ ගුරුලු වෙස් ගෙන නාග ලෝකයට ගොස් ආපසු තොටුපලේ වැල්ලට පැමිණි බවත් එහිදී දළදා වහන්සේ හේමමාලාවෝ ගේ ශීර්ෂයට වැඩම කොට ප්රාතිහාර්ය පෑ බවත් දැක්වේ. ඉන් පසු හේමමාලා දන්ත යුවල ට බිහිසුණු අත්දැකීම් කීපයකටම මුහුණ දෙන්නට සිදු විය. නැව දියත් කොට දියඹේ දී ඇති වූ කුණාටුව මැඩ පවත්වා නිරුපද්‍රිතව ලංකාවේ ලංකාපටුනට ගොඩ බැසීමට හැකි වූයේ ඛෙම නම් රහතන් වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නිසාය.
දළදා වහන්සේ අනුරාධපුර මේඝ විහාරයේ තැන්පත් කරන ලද අවස්ථාවේ දීද රජ ඇතුළු පිරිස විස්මයට පත්කරමින් අහස්කුසට නැග ෂඩ් වර්ණ රශ්මි ධාරාවන් විහිදුවමින් ප්රාතිහාර්ය පෑහ.මේ ආශ්චර්යයෙන් මවිතව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ගිය රජතුමා මුලු සිංහල ද්වීපයම දළදා වහන්සේට පූජා කොට මහත් සේ පුද සත්කාර කරන ලදී.
ක්‍රි.ව. 1226 දී බෙලිගලදී දළදා වහන්සේ ප්රාතිහාර්ය පාන්නට යෙදුණු බව කීරවැල්ල පරපුරේ ජනප්‍රවාද අතර කියැවෙයි.අනතුරුව දෙවනි පරාක්‍රමබාහු රජු සමයේ දඹදෙණියේ දළදා මන්දිරයට වැඩම කළ දළදා වහන්සේ එහිදීද ප්රාතිහාර්ය පෑ බව සඳහන්ය. යාපහුවට එල්ල වූ සතුරු ආක්‍රමණයකදී රහසේම පිටතට වඩමවා ගෙන ගිය දලදා වහන්සේ කුරුණැගල අසල රත් කැරැව්වේ සපු ගසක් මස්තකයේ දී ප්රාතිහාර්ය පා ඇත. ඉංග්‍රීසීන් විසින් දළදාව අත් කරගත්තද කිසිදු හානියක් කිරීමට ඔවුන් අපොහොසත් විය. විශේෂයෙන් මෙරට දැඩි නියං සමයන් වලදී දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූ විට වර්ෂාව ලැබෙන බව සාම්ප්‍රදායිකව පිළිගත් මතයකි. එමෙන්ම අදටත් දළදා වහන්සේ වැඩ සිටින කරඩුවෙන් ඉවතට ගැනීමේදී, චලනය වීමේදි එම ප්‍රදේශයට සිහින් වර්ෂාවක් පතිත වන බවටද ජනතාව අතර විශ්වාසයක් ඇත.
දළදා කරඩුව
දළදා වහන්සේ අද වන විට වැඩ සිටින්නේ කරඩු හතක් තුළය.මනා ලියකම් වලින් කැටයම් කොට ස්වර්ණ වර්ණයෙන් ප්රභාවත් වූ ගන්ධ කුටියේ දොරටු තුන විවෘත කල පසු වෙඩි නොවදින වජ්රමය ආවරණයකින් ඔබ්බෙහි ඒ අසිරිමත් දළදා සමිදුන් වැඩ වෙසෙන කරඩුව දැක ගත හැකිය.
පළමු කරඩුව
මුලින්ම පෙනෙන පලමු කරඩුව මහ කරඬුව වේ. එය රනින් ආලේප කර ඇත. අඩි පහ හමාරක පමණ උසකින් යුක්තය. රිදී විසිපන් දහසකින් (25,000) නිමවා රන් ආලේප කර නව රත්නයන් ඔබ්බවා රත්න චෛත්‍යයක් ආකාරයෙන් නිමවා ඇත. මෙම කරඬුව පූජා කර තිබෙන්නේ දෙවන විමලධර්මසූරිය රජතුමා (ක්‍රි.ව. 1687 – 1707) බව මහා වංශය සඳහන් කරයි. මෙහි වටිනා මිණි මුතුවලින් යුත් ස්වර්ණාභරණ පලඳවා ඇත.
දෙවන කරඩුව
ඉහත සඳහන් කරන ලද පළමුවෙනි කරඬුව ඉවත් කල පසු දක්නටලැබෙන දෙවන කරඩුව පූජා කර තිබෙන්නේ බුරුමයෙනි. කරඬුව වටා වටිනා කෞතුක වස්තූන් රාශියක් තැන්පත් කර තිබේ.
රන්පත් සමූහයක් ඇති අතර ඒවායෙහි ධම්මචක්කපවත්වන සූත්‍රය, පාතිමෝක්ඛ්‍ය වැනි වටිනා ධර්ම පාඨ රාශියකි.
තෙවැනි කරඩුව
දළදා වහන්සේගේ ආරක්ෂාවට කරඩු හතෙන් තුනක් යතුරු යොදා ආරක්ෂා කොට තිබේ.ඉන් පළමුවෙන්ම යතුර සහිත කරඩුව වන්නේ මෙම තෙවැනි කරඩුවයි.මෙය දඹරන් කරඩුවකි. මෙම
කරඩුවේ යතුර දියවඩන නිලමේතුමා සතු වේ.
හතර වෙනි කරඩුව
දියවඩන නිලමේතුමා තුන්වෙනි කරඬුව විවෘත කිරීමෙන් පසු හතරවැනි කරඬුව දක්නට ලැබේ. මෙම කරඬුව නිම කර තිබෙන්නේ රත්රන්වලිනි. එහි ඉතා වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. මෙම කරඬුව විවෘත කිරීම සඳහාද යතුරක් ඇත. ඒ දෙවෙනි යතුරය. එම යතුර භාරව සිටින්නේ මල්වතු මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේ හතරවෙනි කරඬුව විවෘත කළ විට පස්වෙනි කරඬුව දක්නට ලැබේ.
පස්වෙනි කරඩුව
ඇහැළේපොළ මහ අදිකාරම්තුමා විසින් පූජා කොට ඇති අඩියක් පමණ උස මෙම පස් වෙනි කරඬුවේ වජ්ර, ඉන්ද්‍රකීල, ලෝහිතාංක, මරකත, වෛධුර්ය, පුෂ්පරාග වැනි ඉතාමත් වටිනා මැණික් ගල් ඔබ්බවා ඇත. කරඬුවෙහි පාදම වටේට අකුරු කොටා තිබේ. එයට අනුව පූජා කරන ලද්දේ 1816 අගෝස්තු මස 25 දින බව හදුනාගත හැකිය. එතුමාගේ නම සඳහන්ව පවතින්නේ ඇහැළේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්දාසේකර අමරකෝන් වශයෙනි. ඇහැළේපොළ අදිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා ‘‘ඇහැළේපොළ කරඬුව” යන නමින්ද, පසුව එහි යතුර අස්ගිරිමහා නායක හිමියන් භාරයේ පවතින බැවින් ‘‘අස්ගිරි කරඬුව” කියාත් හඳුන්වති.
හයවැනි කරඬුව
අස්ගිරි මහනායක හිමියන් වහන්සේ තම (තෙවැනි) යතුර භාවිත කර ඇහැළේපොළ කරඬුව ඉවත් කිරීමේදී දක්නට ලැබෙන්නේ හයවැනි කරඬුවයි. මෙම කරඬුව අසලින්ම හේමමාලා කුමරිය සහ දන්ත කුමාරයා විසින් දළදා වහන්සේ වඩම්මාගෙන එනුලැබූ කරඬුව දක්නට ලැබේ.මෙම කරඬුව පැත්තකින් තබා තිබෙන්නේ අනෙක් කරඬුව වැසීමේදී බාධා නොවන ආකාරයටයි. හයවෙනි කරඬුව උස්සා පැත්තකින් තැබීමේදී හත්වැනි කරඬුව දක්නට ලැබෙනු ඇත.
හත්වැනි කරඬුව
හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උසය.රන් කරඩුවක් වූ එය මනා ශක්තිමත් කරඩුවකි. දළදා වහන්සේ වැඩ සිටින්නේ මෙහිය.
දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම…
දළදා ප්‍රදර්ශනය විවිධ අරමුණු උදෙසා අතීතයේ සිට පවත්වා ඇත. රටටත්,රජුටත්,ජනතාවටත් සමෘද්ධිය , සෞභාග්‍යය, ආශීර්වාදය පතා දළදා ප්‍රදර්ශන සිදු කර ඇත්තා සේම නියඟය, දුර්භික්ෂය, යුද බිය, රෝග බිය වැනි විපත් දුරු කරගැනීම සඳහාත් සුදුසු කල වැසි ලබා ගොවිතැන් සාරවත් වීමටත් පින් රැස් කර ගැනීමේ අරමුණ පෙරදැරිවත් උතුම් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම අතීතයේ සිට පැවතෙන පූජා චාරිත්‍ර ධර්මයක් ලෙස සඳහන් කළ හැකිය.
ඒ සඳහා මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අතිපූජනීය මහ නායක මාහිමිපාණන් වහන්සේලා දෙනමගේත් දියවඩන නිලමෙතුමාගේත් එකඟත්වය තිබිය යුතුය. දළදා වහන්සේ මහජන ප්‍රදර්ශනය සඳහා තබන අවස්ථාවලදී දන්ත ධාතුන් වහන්සේ සුවිශේෂී කරඬුවක තැන්පත් කරයි. එම කරඬුව ප්‍රදර්ශන කරඬුව ලෙස ද හඳුන්වයි. රනින් කළ නෙළුමක් මත තබන කොපුවක දළදා වහන්සේ වඩාහිඳුවා ප්‍රදර්ශනය සඳහා තැබීම සිදුකරයි.කිත්සිරිමෙවන් රජතුමාගේ කාලයේ මෙරටට දළදා වහන්සේ වැඩමවීමෙන් අනතුරුව දෙවුලේ බමුණු නමැති පුද්ගලයාගේ මඟපෙන්වීම යටතේ අනුරාධපුර මේඝගිරි මඩුකන්ද විහාරයේදී දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත. සිරිලක සිව්දිගින් මහා සංඝාරත්නය මෙන්ම මහජනතාව ද ඉතා උනන්දුවෙන් වන්දනාමාන කර ගත් බව සදහන් වන එය ලංකාවේ දී පවත්වන ලද ප්‍රථම දළදා ප්‍රදර්ශනය ලෙස ඉතිහාසයේ සදහන් වේ. පසුකාලීනව දළදා වහන්සේ මහත්වූ පෙරහැරින් අභයගිරි විහාරයට වැඩමවා මහජනතාවගේ වියදමින් වසරක් පාසා දළදා ප්‍රදර්ශන පවත්වා ඇත.
පොළොන්නරු යුගයේදී රට එක්සේසත් කළ පළමු වන පරාක්‍රමබාහු රජතුමා ද දළදා වහන්සේ මහජනයාගේ ගෞරවය සඳහා ප්‍රදර්ශනය කර තිබෙන බවට තොරතුරු දළදා පුවත තුළ විස්තර කර ඇත. පොළොන්නරු රාජධානිය බිඳවැටීමත් සමග එවකට සිටි වාචිස්සර ස්වාමීන් වහන්සේ දළදා වහන්සේ කෝතමලේ ප්‍රදේශයට වැඩම කරවා ඇත. බෙලිගල පර්වතය මුදුනේ දළදා මැඳුරක් ඉදිකරවා එහිදී ද පුද පූජාවන් පවත්වා ඇත. ඉන් අනතුරුව දඹදෙණිය රාජධානිය අවසානයේදී තුන්වන විජයබාහු රජු කොත්මලේ වැඩසිටි දළදා හාමුදුරුවන් වහන්සේ පෙරහැරින් වැඩමවා දඹදෙණියේ ඉදිකළ දළදා මන්දිරයක තැන්පත් කර පුද පූජා පවත්වා ඇත. රජුගේ උපන් දිනය දා ශ්‍රී වර්ධනපුරය දක්වා මහමඟ විසිතුරු පෙරහැරකින් දළදා වහන්සේ වැඩම කර වසරකට තුන් වතාවක් දළදා ප්‍රදර්ශන පවත්වා ඇත. දෙවන පරාක්‍රමබාහු රාජ්‍ය පාලන සමයේදීත් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා වෙනම නීති පද්ධතියක් සකස්කර, නියඟයක් පවතින අවස්ථාවලදී රටට වැසි ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කළ බවට තොරතුරු දළදා සිරිත ග්‍රන්ථයේ දැක්වේ. දඹදෙණි රාජධානිය තුළ සිටි පළමු වන බුවනෙකබාහු රජු, තුන්වන පරාක්‍රමබාහු රජතුමා පොළොන්නරුවේ අටදාගේ දළදා වහන්සේ වඩාහිඳුවා පුදසත්කාර කරමින් දළදා ප්‍රදර්ශන සිදුකර ඇත.
පළමු විමලධර්මසූරිය රජතුමාද රන් ආලේපිත දළදා කරඬුවක් නිර්මාණය කර ඒ තුළ දළදා වහන්සේ තැන්පත් කර ජනතාවට දළදා වහන්සේ වන්දනාමාන කිරීම සඳහා දළදා ප්‍රදර්ශන කටයුතු සිදුකර ඇත. වර්ෂ 1828 ජුනි 18 එඩ්වඩ් ආණ්ඩුකාරවරයාගේ හා දෙහිගම ලොකු බණ්ඩාර නිලමේතුමාගේ කාලයේදී අවසන්වරට දළදා වහන්සේ ධාතු මන්දිරයෙන් පිටතට වැඩමවා මහමළුවේ ප්‍රදර්ශනය කර ඇත. එය දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටි ස්ථානයෙන් පිටත ස්ථානයකට වැඩමවා ප්‍රදර්ශනය කළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. එම දළදා ප්‍රදර්ශනය අවසානයේදී මහා වැසි ඇදහැලී ඇළ – දොළ පිරී මහා ගංවතුරක් ගැලූ බව සඳහන් වේ. එය “දළදා වතුර” නමින් ඉතිහාසයෙහි සඳහන් ය. අනතුරුව ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර ක්‍රි. වර්ෂ 1925 ජනවාරි 01 වෙනිදා සිට 31 දක්වා කාලසීමාව තුළ දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත.
මෑත ඉතිහාසයේ දළදා ප්‍රදර්ශන පැවැත්වූ අවස්ථා මෙසේය.
- 1982 පෙබරවාරි 7 වෙනි දින සිට 14 වෙනිදා දක්වා
- 1992 ජූලි 8 වැනි දින සිට ලෝක බෞද්ධ සම්මේලනයේ නියෝජිතයන් සඳහා
- 1991 මාර්තු 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා
- 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා
- 2004 වර්ෂයේ අප්‍රේල් 17 සිට මැයි 1 වෙනිදා දක්වා
- 2006 වර්ෂයේදී අගෝස්තු 12 වෙනිදා දින ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයට සහභාගිවූවන් සඳහා
- 2009 මාර්තු 6 වන දින සිට සමස්ත ලෝකවාසී ජනතාව සදහා
- 2009 නොවැම්බර් මස 13 වෙනිදා දින මියන්මාර් ජනාධිපතිතුමන් ඇතුළු පිරිස සදහා අනතුරුව 14 වන අන්තර්ජාතික වෙසක් දින උත්සවය ලංකාවේ පැවැති අවස්ථාවේදී විදේශීය දූත පිරිස උදෙසා
- 2017 මැයි 14 වන දින අන්තර්ජාතික වෙසක් දින උත්සවයට පැමිණි විදේශීය දූත පිරිස උදෙසා
ඒ අනුව වර්තමානයේ අභිනව රජයක් තේරී පත්වී මාස කිහිපයක් ඇතුළත මෙවර සිරි දළදා ප්‍රදර්ශනයක් 2025 අප්‍රේල් 18 සිට අප්‍රේල් 27 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එබැවින් තිදොරින් සංවරව ජීවමාන බුදුන් දකින සංඥාවෙන් දළදා වහන්සේ වැද පුදා ගෙන නිර්වාණයේ ස්වර්ණ ද්වාරය විවර කර ගැනීමට ඔබටත් හැකියාව ඇත.
සටහන – ශ්‍රීධර සේනාරත්න
