සමාජය නමැති දේහයේ න්‍යෂ්ටිය ළමා පරපුරයි. පිරිපුන් යහපත් ලොවක් ගොඩ නැගෙන්නේ කුඩා කළ සිට ජීව විද්‍යාත්මකව වර්ධනය වන්නා වූ ළමයින්ගෙනි. ළමයා පිළිබඳ විවිධාකාර නිර්වචන දක්නට ලැබේ.
1989 නොවැම්බර් මස 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට ඉදිරිපත් කර 1990 සැප්තැම්බර් 02 වෙනිදා බලාත්මක වූ එක්සත් ජාතීන්ගේ ළමා ප්රඥප්තියේ පළමුවැනි වගන්තිය අනුව ළමයා යනු වයස අවුරුදු 18 ට අඩු ඕනෑම අයෙකි.
ජීව විද්‍යාත්මක නිර්වචනය අනුව ළමයා යනු, උපතේ සිට වැඩිවිය පැමිණීම දක්වා කාලය තුළ පසුවන ජීවියාය. ඇමරිකානු සංක්‍රමණ නීතියට අනුව අවුරුදු 20ට අඩු ඕනෑම අයකු ළමයකු බව දක්වා ඇත.
ඕනෑම දරුවකුගේ ළමා කාලය අදියර කිහිපයකින් සමන්විත වේ.
මෙම අවධීන් දරුවාගේ උපතෙන් ආරම්භ වී දරුවා තරුණ වියට එළඹීමත් සමඟ අවසන් වේ. මෙම අවධීන් තුළ දරුවා ශාරීරිකව හා මානසිකව විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් නව යොවුන් වියට එළඹෙන තෙක් වර්ධනය වීම සිදු වේ.
එම අවධීන් ප්‍රධාන වශයෙන් නවජ අවධිය, ළදරු අවධිය, මුල් ළමාවිය අවධිය, පෙර පාසැල් අවධිය හා පසු ළමාවිය ලෙස හඳුනා ගත හැකිය.
නවජ අවධිය දරුවාගේ උපතේ සිට පළමු දින 28 දක්වා සමන්විත වේ.

මෙම කාලය තුළ බිළිඳා තම මව මාර්ගයෙන් අවට පරිසරයට හුරු පුරුදු වෙමින් තමා අවට සිටින අය සමඟ සම්බන්ධ වීමට පටන් ගනී. මව් කිරි දීමෙන් දරුවාගේ කායික වර්ධනයට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා ඉටු වන අතර ප්‍රතිශක්තිය ඇති වේ. මව්කිරි ලබාදෙන සෑම විටම ආදරයෙන් තුරුළු කර ගනිමින් උණුසුම් කිරීම වැනි මවගේ ක්‍රියාකාරකම් මඟින් දරුවාගේ මනෝ සංවර්ධනයට අවශ්‍ය උත්තේජනය සිදු වේ. දරුවාට ලයාන්විතව කතා කිරීමත් නැලවිලි ගීත ගායනා කිරීමත් මඟින් එය තවත් වර්ධනය වේ.
ළදරු අවධිය දරුවාගේ පළමු මාසයේ සිට මාස 12ක් යන තුරු හඳුනා ගත හැකිය. ඒ තුළ දරුවාගේ ශාරීරික හා මානසික වර්ධනය සීඝ්‍ර ලෙස සිදුවේ. දරුවාගේ බෙල්ලේ ශක්තිය ඇති වීමට පටන් ගන්නා අතර කෙළින් සිටගෙන සිටීමට හැකිවේ. මෙම අවධිය තුළද මව දරුවා සමඟ වැඩි වශයෙන් රැඳෙමින් ආදරය ලබා දිය යුතු අතර නියමිත පරිදි උස බර වර්ධනය වන්නේ දැයි මාසිකව සායනයට සහභාගී වීම මඟින් තහවුරු කර ගත යුතුය. මීට අමතරව නිවැරදිව එන්නත් ලබා දීමට ද වග බලා ගත යුතුය.
පෙර ළමා විය දරුවාගේ පළමු වසරෙන් ආරම්භ වී වසර 5ක් දක්වා දිව යයි. මෙම කාලය තුළ දරුවා ළදරු පාසලට සම්බන්ධ වන අතර අනෙක් දරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පටන් ගන්නා අතර ඔවුන් කතා කිරීමට වචන කීමට පටන් ගෙන වාක්‍ය පවා සාදයි. මෙම අදියරේ වැදගත්ම අංගය වන්නේ වැසිකිළි පුහුණුවයි. දරුවා තුළ අවට ලෝකය සොයා ගැනීමට විශාල උනන්දුවක් ඇති කරවන අවධියකි. මෙම කාලයේ දරුවා තමන් ගැන සිතනුයේ අන් අය සිතන දේ සැලකිල්ලට නොගෙනය. මෙම අවධිය තුළදී දරුවාට තර්කානුකූලව සිතීමට සහ සමාජ මට්ටමින් සබඳතා වැඩි දියුණු කිරීමට හැකියාව ඇත. දරුවාගේ චාලක හැකියාවන් සංවර්ධනයට උදව් විය යුතු කාලයකි.

පසු ළමා අවධිය ළමා කාලයේ අවසාන අවස්ථාව වන අතර එය නව යොවුන් වියට මඟ පාදයි. එය අවුරුදු 6 සිට 10 දක්වා පරාසයක පවතින අතර වියුක්ත චින්තනයේ ඉතා වැදගත් වර්ධනයක් ඇත. කණ්ඩායම් කියාකාරකම් මඟින් මනෝ සාමාජීය කුසලතා වැඩි දියුණු කර ගැනීමට දරුවාගේ ජීවිතයේ මිතුරන් වැදගත් වන අතර පවුල පසුපසට යයි. දෙමව්පියන් විසින් පනවනු ලබන සම්මතයන් හා නීතිරීති මෙම කාලය තුළ බිදී යයි. කෙටි කාලීන අරමුණු හෝ අරමුණු මාලාවක් සකසා ගනිමින් ආත්මාභිමානය දියුණු කර ගනී. දරුවා විධිමත් අධ්‍යාපනය ලබමින් ගවේශනාත්මකව නොයෙකුත් ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් අවස්තා සලසා ගනී.

දැන් අපි බලමු දරුවන් ටිකෙන් ටික වෙනස් වෙන්නෙ ඇයි කියල.මෙහිදී සෑම දරුවෙකුම එකම වේගයකින් පරිණත නොවන බව සැලකිල්ලට ගත යුතුය. පවුල් පරිසරය, පවුලේ සාමාජිකයන්ගේ බලපෑම සෘජුවම මේ සඳහා බලපාන අතර පාසල හා සම වයසේ කණ්ඩායම් ඇසුරද තරමක බලපෑමක් ඇති කරයි. මොළයේ පරිණත ගැටළු, ළමා වියේ ආරම්භ වන ගැටළු ද මීට බලපෑමක් එල්ල කරයි. මේ පිළිබඳව දරුවාගේ බුද්ධි මට්ටම පිළිබඳ අධ්‍යයනයෙන් මනා වැටහීමක් ගත හැකි වනු ඇත. ඒ අනුව දරුවන් තුළ ඇති වන වෙනස්කම් පහත පරිදි හඳුනා ගත හැකිය.
දරුවා ඒ ඒ සංවර්ධන අවධීන්වලදී සිදු කළ යුතු චාලක කුසලතා ඌණතාවය, කුසලතා සඳහා ප්‍රමාද වීම, ළමා භාෂාව මීට අනුරූපව වෙනස් නොවීම හෝ ඇන හිටීම,තම කාර්යයන් තනිව සිදු කරගත නොහැකි වීම, තම මව පියා හඳුනා නොගැනීම, සතුට දුක දනවන ඉඟි දරුවා තුළ නොවීම, දෙමව්පියන් හුරතල් කළත් දරුවා සතුටු වීමක් දක්නට නොලැබීම,පොත් පෑන් පැන්සල් භාවිත නොකිරීම, පින්තූර දෙස නොබැලීම ආදිය දැකිය හැකිය.
දරුවාගේ අධ්‍යාපන කාර්යය සාධනය කෙරෙහි අහිතකරව බලපාන කතා නොකර සිටීම, ගොත ගැසීම, උච්චාරනය හා භාෂා දුර්වල වීම, අන් අය හා අදහස් හුවමාරුව දුර්වල වීම,නිවැරදි වචන භාවිතය අඩු වීම, වස්තු නම් කිරීමේ ගැටළු වැනි සන්නිවේදන වෙනස්කම් ද මෙහිදී හඳුනා ගත හැක.
දරුවා ළදරු කාලයේ පෙරලීම, වාඩි වීම, බඩ ගා යෑම, කතා කිරීම, ප්‍රමාද වීම, මතකය දුර්වල වීම, හදිසි කෝපය, ගැටළු විසඳීමේ දුෂ්කරතා දැකීය හැක.
දිගුකල් පවතින සමාජීය සන්නිවේදන හා සමාජීය අන්තර් සම්බන්ධතා පිළිබඳ ඌණතා නිසා දරුවන්ට කතා කරන විට කතා නොකිරීම, චිත්තවේගීය නිෂ්ශබ්දතාවය, කතා කිරීමේදී ඇස් යොමුවක් නොපැවතීම, වරින් වර පමණක් ශබ්ද කිරීම දැක ගත හැකිය.
අවධානය යොමු කරන ආකාරය, නිශ්චලව හිඳීම සහ හැසිරීම පාලනය කරන ආකාරය කෙරෙහි බලපාන මොළයේ ආබාධ නිසා විශේෂයෙන් නොසැලකිලිමත්කම නිසා අධ්‍යාපන කාර්යයන් වලදී අතපසු වීම් ,වැරදීම් වැඩිවීම, යම් කාර්යයක් සංවිධානය කිරීමේ ගැටළු, උපදෙස් පිළි පැදීමේ ගැටළු, යම් ස්ථානයක එකදිගට වාඩි වී සිටීමේ දුෂ්කරතාව, නුසුදුසු අයුරින් පිරිස ගැවසෙන ස්ථානවල එහාමෙහා යාම, තම අවස්ථාව ලැබෙන තුරු ඉවසීමෙන් සිටීමේ නොහැකියාව ආදිය දක්නට ඇත. ජානමය කරුණු, පාරිසරික විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීම, ගර්භනී මව මත්පැන් භාවිතය, නොමේරූ දරු උපත්,ගර්භනී සමයේ ඌණ පෝෂණය මීට හේතු සාධකය.
විශේෂයෙන් කියවීම, ලිඛිත ප්රකාශනය හෝ ගණිතය යන අංශ තුනෙන් එකක ඇතිවන දුර්වලතාවන් වචන උච්චාරණයේ ගැටළු, අක්ෂර වින්‍යාසයේ ගැටළු, සාවද්‍ය හා මන්දගාමී කියවීම, ගණිතමය තර්කන දුෂ්කරතා, මූලික ගණිතමය සංකල්ප හඳුනා ගැනීමේ ගැටළු, නව කුසලතා ඉගෙනීම සෙමින් සිදු වීම ආදිය දරුවන් තුළ පවතින ලක්ෂණයන්ය.
ශරීරයේ අංග එක රටාවකට පැද්දීම, තම අතපය තමන්ම සපා කෑම, තම සිරුරටම පහර දීම, කිසිම පෝෂණ ගුණයක් නැති ආහාර අනුභවයට ඇති රුචිකත්වය, ශරීරයට අවශ්‍ය පෝෂණ ගුණයෙන් යුතු ආහාර ඉතා අඩු පරිභෝජනය හෝ නිතර නිතර පාලනයකින් තොරව ආහාර අනුභවය , නොදැනුවත්වය ඇඳේ මුත්‍රා පිට කිරීම, නුසුදුසු ස්ථානවල මළපහ කිරීම පවා දක්නට ලැබේ.
නින්ද නොයාම, නිදි කිරීමේ අපහසුතා ,කෙටි නින්ද , නින්දෙන් ඇවිදීම, සිහින දැකීම, ඉතා සුළු දේටත් වහා කෝප ගැනීම, තමන්ට ඉහළ අයට අභියෝග කිරීම, නිරතුරුව අන්‍යයන්ගේ තරහ ඇවිස්සීම, දෙමාපිය විරෝධය නොතකා නිවසින් පැන යාම, සොරකම් කිරීම හෝ වංචනික ක්‍රියා සිදු කිරීම, ගිනි තැබීම, අකීකරුකම ආදිය දක්නට ලැබේ.

තමා වැඩියෙන්ම ළඟින් ඇසුරු කළ වැඩියෙන්ම ආදරය කළ තම සමීපතයකුගේ වියෝ වීම , මරණය දරුගත නොහැකි වීමෙන් නිරන්තර කායික රෝග වලට ගොදුරු වීම. නින්ද නොමැති වීම, සිහිනෙන් බිය වීම, නිවස තුළ තනිව රැඳී සිටීමට බිය වීම දැකිය හැක.තවද යම් යම් උපකරණ වලට ,ස්ථාන වලට, වතුරට, උස් ස්ථාන වලට යාමට බිය වීම දැකිය හැක. ග්‍රස්ථීය අනිවාර්යතා අක්‍රමතාවය යටතේ පිරිස් ඉදිරියේ කතා කිරීමට පවතින බිය, නිරන්තර කාංසා සිතුවිලි ඇති වීම, නිතර නිතර දෑත් සේදීම, අධික පිළිවෙළ හා පිරිසිදු බව සෙවීම ආදී ලක්ෂණ දැක්වේ.
දරුවන් තුළ පවතින මෙම වෙනස්කම් කෙරෙහි බලපාන සාධක කිහිපයකි. ඔවුන්ගේ බුද්ධි මට්ටම ඉහළ වන තරමට ඔවුන් බුද්ධිමත් වේ. තම පවුල් පරිසරයේ චර්යාවන් අනුව මවගේ හා පියාගේ සහයෝගීතාවය, දරුවන්ට සමානව සැලකීම, නිවසේ ගැටළු නිරාකරණයට හා තීරණ ගැනීමට මා පිය දෙදෙනාම එකතු වීම සිදු වන විට දරවන් සතුටින් දිවි ගෙවයි. දෙමව්පියන් අතර ගෞරවය හා ආදරය පවතින විට පවුල තුළ සමඟිය වර්ධනය වේ .එසේ නොමැති විට මව පියාගේ නායකත්වය පිළිබඳ නොසැලකීම, අනවශ්‍ය ලෙස දරුවන්ට මුදල් හා නිදහස ලබා දීම නිසා පෞර්ෂ ඌණතා ඇති වේ.තම පියා/මව රෝගාතුර වීම,නැති වීම,විදෙස් ගත වීම වැනි හේතු නිසා දරුවන්ට පියාගේ/මවගේ ආදරය , සතුට, පාලනය/විනය නොලැබීමෙන් දරුවන්ගේ සමබර පෞර්ෂ සංවර්ධනයට බලපෑම් ඇති විය හැක.
මීට අමතරව දරුවාගේ පෙර පාසල හා පාසැල් පරිසරය තුළ ගුරුවරයාගේ ආදරය කරුණාව, රැකවරණය නොඅඩුව ලැබිය යුතුය. එවිට බාහිර ලෝකය සමඟ ඇති වන ආකල්පය හිතකර වනු ඇත. එමෙන්ම දරුවාට නිසි කළ නිසි අවධානය, නිසි අගය කිරීම, අවශ්‍ය තැන් හීදි අගය කිරීම හා දරුවාගේ අදහස් වලට ඉඩක් ලබා දීම, දරුවාට සවන් දීම මඟින් දරුවාට සැලකිය යුතුය.
මේ ආකාරයෙන් දරුවා පිළිබඳව මනා අවධානයක් අවබෝධයක් දෙමව්බියන් තුළ ගුරුවරුන් තුළ තිබිය යුතුමය. එවිට ඇති විය හැකි බොහෝ ගැටළු වළක්වා ගත හැකි වනු ඇත. එය අනාගත ළමා පරපුරේ සංවර්ධනය සඳහා බෙහෙවින් ඉවහල් වනු නොඅනුමානය.

සටහන

සකුන්තලා රැටියල
