දශක ගණනාවක් පුරා ලාංකීය ගීත කලාව තුළ විශේෂ මෙහෙයක් සිදු කරමින් කටයුතු කළ ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතාගේ අඩි පාරේ යමින් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින ඔහුගේ පුත් ගයාන් ගුණවර්ධන නම් තරුණ ශිල්පියා ගායනයට මෙන්ම රංගනයටත් නිවේදනයටත් එක සේ දස්කම් ඇති ඉතාමත් සුවිශේෂී චරිතයක්.
ඉතින් ඔහුගේ තවත් අලුත්ම වැඩක් ළගදීම කලඑළි බසින වග අපට අසන්නට ලැබුණා.

මේ ඒ පිළිබඳව සුවිශේෂී කතාබහක්….
මේ දවස් වල වැඩ කටයුතු මොනවාද?
මගේ තාත්තා නැතිවෙලා වෙලා අවුරුද්දක් සැපිරීම වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් ඉන්නවා.ප්‍රධාන වශයෙන් ඒ සඳහා කාර්යබහුල වෙලා ඉන්නේ.ඒ වගේම Nuga Studio And Academy යෙහි හඬ පුහුණුව හා සංගීත පන්ති පවත්වනවා.අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් සිදුවනවා. ඉදිරියේදී එය දෙරණ නාළිකාව තුළින් ඔබට නරඹන්න හැකි වේවි. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු සඳහා සූදානම් වෙනවා.

කලාවට එන්නේ කොහොමද?
මම කලාවට එන්නේ 2008 දී. ඒ මගේ පාසලේ යහළුවෙක් වන රදීෂ් වැන්දබෝනා සමගින්.අපි දෙන්නටම Music වලට ලොකු ආසාවක් තිබුණා.Choir එකේ ගීත ගායනා කළා.Western Band එකේ Play කළා.පියානෝ සහ ගිටාර් වාදනය ඉගෙන ගත්තා.පළමුවෙන්ම අපි දෙන්නා එකතුවෙලා “මගේ ආදරේ” කියලා ගීතයක් නිර්මාණය කළා.මේ ගීතය මගේ පළමු ගීතය.සංගීත අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් පාසල් කාලයෙන් පස්සේ ශබ්ද පරිපාලන ඉංජිනේරු අංශයෙන් දිලිප් ගබඩාමුදලි මහත්මයා යටතේ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඒ වගේම පියානෝ වාදනයෙන් 4 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තා.රැකියා කිහිපයක නියැළීමෙන් අනතුරුව මම මගේම ශබ්දාගාරයක් පටන් අරගෙන ගීත කිහිපයක් නිර්මාණය කළා.TV1 නාලිකාවේ එවකට ප්‍රධානියා වූ බුද්ධික වික්‍රමාදර මහත්තයා මට ආරාධනා කරනවා නිවේදන ශිල්පියෙක් ලෙස වැඩකටයුතු කිරීමට. “දඟරැල්ල” ඉන් ජනප්‍රිය වුණු එක් වැඩසටහනක්.ඊට පස්සේ මගේ පළමු ටෙලි නාට්‍යය වන “හිතුවක්කාරයා” ටෙලිනාට්‍යයට ආරාධනා කරන්නෙත් බුද්ධික වික්‍රමාදර හා ෂර්ලි පී. දෙලංකාවල මහත්මයන් විසින්.ඊට පස්සේ “හුස්මක් තරමට”, “අපි අපේ”, “අපි එක රෑනේ”, “අහස් මාලිගා”, “නිල පබළු”, “පාර දිගේ” වගේ ටෙලි නාට්‍ය වලට රංගනයෙන් එක්වුණා.ගීත නිර්මාණ ගත්තොත් “ඔබ වෙනුවෙන්”, “යං”, “ඉසබෙලා”, “හිතේ කතාවේ”, “සංසාර සංචාරේ” වගේ මගේම ගීත නිර්මාණය කළා.දැනට මගෙම කියලා ගීත 30ක් පමණ තියෙනවා. Covers හා Remake එක්ක ගීත 40කට ආසන්නයි.ටෙලි නාට්‍ය 09කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.TV නාලිකා දෙකක් එක්ක සම්බන්ධ වෙලා වැඩසටහන් 12ක් පමණ මෙහෙයවා තියෙනවා. මේ වනවිට ගායන ශිල්පියෙක්,රංගන ශිල්පියෙක්,ශබ්ද පරිපාලන ඉංජිනේරු ශිල්පියෙක්,ගුරුවරයෙක් ලෙස කටයුතු කරගෙන යනවා.

“RAWDS” ඔබේ සංගීත කණ්ඩායම ගැන කතා කරමු.
“RAWDS” සංගීත කණ්ඩායම පටන්ගන්නේ ‘පාරදිගේ’ ටෙලි නාට්‍ය හරහා. ඒ මමත් සචින් චතුරංගත් ඉදුවර සූරියබණ්ඩාරත් එකතු වෙලා.සංගීත කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා,ප්‍රධාන නියමුවා වගේම ප්‍රධාන ගායන ශිල්පියා විදිහට මම කටයුතු කරනවා. මම සංගීත කණ්ඩායම් සමග හා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් සමග කටයුතු කරලා තියෙන අත්දැකීම් එක්ක අභියෝගවලට මුහුණ දෙමින් සතුටින් සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සමඟ එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා.

ගායනය, රංගනය, නිවේදනය, ඉගැන්වීම මේ හැම භූමිකාවක්ම Blance කරගන්නේ කොහොමද?
ඒක ගොඩක් අමාරු දෙයක්.ගායකයෙක් විදිහට මට වගකීම් රැසක් තියෙනවා.මගේ තාත්තා නුවන් ගුණවර්ධන.ඔහු ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට ගායකයෙක්.හින්දි ගීත ගායන ශිල්පියෙක්.ඔහුගෙන් පසුව ඔහු හින්දි ගීත සමඟ පැවැත්වූ ආශ්‍රය වගේම චිත්‍රපට ගීත හා ඔහුගේම ගීත ආරක්ෂා කර ගැනීමට මට ලොකු වගකීමක් තියෙනවා.ඒ වගේම මම ගයාන් ගුණවර්ධන ලෙස මගෙම අලුත් ගීත නිර්මාණය කළ යුතුයි.නැතිනම් මම නුවන් ගුණවර්ධනගේම කොපියක් වෙනවා.රංගනය ගත්තොත් ඒ සඳහා මගේ පෙර සූදානම,සූදානම,පසු සූදානම හා චරිතත් එක්ක තියෙන ගනුදෙනුව.මේ විදිහට හැම භූමිකාවක්ම කිරීම හරිම අමාරුයි.එහෙම කරන කලා ශිල්පීනුත් හරිම අඩුයි.පියාගේ අභාවයෙන් පස්සේ ගෙදර ගෘහ මූලිකයා ලෙස මට පැවරුණු වගකීම් තවත් වැඩියි.ඒවත් එක්ක කලා භූමිකා සියල්ලම Blance කරගන්නව කියන්නෙ ලොකු Challenge එකක්.නමුත් මම ඒ Challenge වලට කැමතියි සහ කරන වැඩවලට මම ආදරය කරන නිසා Blance එකේ මට කටයුතු කරගෙන යන්න පුළුවන්.වැඩ වලදී මට උදව් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා.මගේ සහෝදරිය වන දුලාරි ගුණවර්ධන,පූජනී භාග්‍යා,ශම්මික ගීෂාන්ත් ව මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.
ඔබේ අලුත්ම ගීතය සංසාර සංචාරේ.මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ වන විට ගීතයට වඩාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ගීතය නිර්මාණය වෙන්නේ රජිත් චතුරංග නම් පද රචකයාගේ ආරාධනයෙන්. ඔහුට ඕන වුණා මගේ හඬින් ඔහුගේ ගීතයක් නිර්මාණය කරගන්න.සංගීතයෙන් ගයාන් රැන්ඩි පෙරේරා මියුසික් වීඩියෝවෙන් සංදේශ් බණ්ඩාර අපිත් එක්ක එකතු වුණා. පූජනී භාග්‍යා සහ මම එහි රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.ගීතයට ආදරණීය ප්‍රතිචාර එක් කරපු හැමෝටම මම ස්තුතියි කරනවා.ඒ වගේම ගීතය රසවිඳින්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.

අලුත් ටෙලිනාට්‍ය සදහා ආරාධනා ලැබිලා තියෙනවාද?
ටෙලි නාට්‍ය කිහිපයකට මට ආරාධනා ලැබිලා තියෙනවා.නමුත් සංගීත කණ්ඩායමේ වැඩකටයුතු,ශබ්ධාගාරයේ වැඩකටයුතු හා ගීත ගායනා වැඩකටයුතුත් එක්ක මට වැඩ ටික Blance කරගන්න ඕන නිසා මම ටෙලිනාට්‍ය ගොඩක් බාර ගන්නේ නැහැ.වැඩ ටික හිර වුණොත් ඒක මගෙ සංගීත ජීවිතයට ලොකු පාඩුවක් වෙනවා.ඒ නිසා මම එකවර බාර ගන්නේ එක ටෙලිනාට්‍යයයි.මේ ටෙලි නාට්‍යයෙන් පසුව මම තවත් ටෙලිනාට්‍යයක වැඩ බාර ගනීවි.ටෙලිනාට්‍යයක රංගනයේ යෙදෙනවා කියන්නේ ලොකු කර්තව්‍යයක්.චරිතයක් එක්ක සම්බන්ධ වී චරිතය ඇතුළේ අපි ජීවත් විය යුතුයි.අනෙක් ශිල්පීන් වගේ එක් චරිතයක් කරලා තවත් චරිතයකට මාරු වෙන්න මට අමාරුයි.චරිතයෙන් පසුව මම නැවතත් ගයාන් ගුණවර්ධන වෙනවා.මගේ මීළඟ ටෙලි නාට්‍ය ළඟදීම ඔබට දෙරණ නාලිකාවෙන් නරඹන්න පුළුවන්.එහි නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය විශ්ව ලංකා. ටෙලිනාට්‍යයේ රංගනයෙන් සංගීත් ප්‍රභූ, පූජනී භාග්‍යා, නෙතූ ගම්ලත්, කසුන් ලියනගේ, සරත් කොතලාවල ඇතුළු නළු නිළියන් සහභාගී වෙනවා.මම ප්‍රේක්ෂකයන්ට ආදරෙන් ආරාධනා කරනවා මෙය නරඹන්න කියලා.ඒ වගේම ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැළඳ ගනී කියලා මම අපේක්ෂා කරනවා.
ලබන වසරේදී ඔබ විවාහ වන බව ආරංචි ඒ ගැනත් කියමු.
ඔව්, දැනට අපි හිතාගෙන ඉන්නේ 2024 දී විවාහ වෙන්න. ඒකෙ වැඩකටයුතු අපි ප්‍රසංගයෙන් පස්සේ පටන් ගන්න තමා ඉන්නේ.
ඉදිරියට එන අලුත් නිර්මාණ මොනවාද?
අලුත් ගීත නිර්මාණ කිහිපයක්ම සූදානම් කරගෙන ඉන්නවා. Rawds අපේ සංගීත කණ්ඩායමේ ගීතයක්, මගේ තනි ගීතයක්,මගෙයි පූජනීගෙයි ගීතයක් ඇතුළු නිර්මාණ රැසක්ම 2024 වර්ෂයේ දී ඔබට දැකබලා ගන්න පුළුවන්.වර්තමානයේ දී මගේ ලොකුම නිර්මාණය තමයි අනුස්මරණ ප්‍රසංගය පැවැත්වීම. නුවන් ගුණවර්ධන නම් කලා ශිල්පියා,ගුරුවරයා,සැමියා, සහෝදරයා,මිත්‍රයා,පියා ව සිහිපත් කරමින් ඔහුගේ නිර්මාණ ඇගයීමේ අරමුණින් තමා ප්‍රසංගය පවත්වන්නේ.
“Tribute to Nuwan” මොකද්ද මේ ප්‍රසංගය ?
මගේ තාත්තා නැතිවෙලා වෙලා අවුරුද්දක් සැපිරීම වෙනුවෙන් ඔහුට උපහාරයක් ලෙස තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. ප්‍රසංගයේ නම ” තාත්තයි පුතයි Presents Tribute to Nuwan”. එදාට Music කරන්නේ ‘Rawds’ band එක.කථනයෙන් ධනංජය සිරිවර්ධන එකතු වෙනවා.මමත් මගේ සහෝදරිය වන දුලාරි ගුණවර්ධනත්, නුවන් ගුණවර්ධනයන්ගේ ගීත,හින්දි ගීත වගේම මගෙම ගීත ගායනා කරනවා.ඒ වගේම කාවින්දයා අධිකාරි,සජිත ඇන්තනි,පියත් රාජපක්ෂ,දිමිත්‍රි,ගයාන් උඩවත්ත,කුසල් මදුරංග,සචින් චතුරංග,ඉදුවර සූරියබණ්ඩාරත් අපිත් එක්ක එකතු වෙනවා.ඒ වගේම Suprise Artist ලත් කිහිපදෙනෙක් එකතු වෙනවා.ගීත වල හැඩය නව්‍ය ආකාරයට නිර්මාණය කරමින් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන සිද්ධ කරන ලස්සන ප්‍රසංගයක් වේවි කියලා මම හිතනවා.
තරුණ කලාකරුවෙක් ලෙස ක්ශේත්‍රයට එන්න ඉන්න නවකයින්ට දෙන්න පුලුවන් පණිවුඩය කුමක්ද?
නවකයන්ට දෙන්න තියෙනවා පනිවුඩය තමා short cuts හොයන්නේ නැතුව වැඩ කරන්න කියන එක.ක්ශේත්‍රයට ගරු කරන්න. අපි මේ ක්ෂේත්‍රයෙන් හම්බ කරගන්නවා නම් නිර්මාණයට නිසි වටිනාකමක් දෙන්න.තමන්ගේ නිර්මාණ රසිකයන්ට රස විඳින්න දෙනවා වගේම තමනුත් ඒවා රස විඳින්න.මම හිතනවා නවක ශිල්පීන්ට හොඳ පසුබිමක් තියෙනවා කියලා තමන්ගේ කටයුතුවල යෙදෙන්න.ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ ශිල්පීන් සමග කටයුතු කරමින් ඔවුන්ගේ උදව් උපකාර ලබමින් වැඩකටයුතු කරගන්න.මම හිතනවා මේ ක්ෂශේත්‍රයට එන්න ඉන්න නවකයින්ට අනාගතයේ දී ලංකාව තුළ හොඳ තැනක් තියේවි කියලා.
සටහන
පෙවින්ද්‍යා රශ්මි
