විසි එක් වන ශතවර්ෂයේ ජීවත්වන අප, සංස්කෘතියේ පවතින බොහෝ දෑ ප්‍රතිසංස්කරණය කිරීම හෝ ඉවත් කිරීම සිදුකරයි. අලුත් අවුරුද්ද සඳහා පවත්වන චාරිත්‍ර ද එසේ වෙනස්කම් වලට ලක් කිරීම් හෝ ඉවත් කිරීම් වලට බදුන් කරයි. අද මම අවධානය යොමු කරන්නේ සිංහල අලුත් අවුරුද්ද ලං වෙන මේ මොහොතේ අප අතින් ගිලිහී යන අවුරුදු චාරිත්‍ර මොනවාද යන්න විමසා බැලීමටයි.
01. මුට්ටි මංගල්‍යය

අලුත් අවුරුද්ද සඳහා සූදානම් වීමේදී පළමුවෙන්ම ඉටු කළ යුතු පිළිවෙත වන්නේ සොබාදහමෙන් අවසර ගැනීම ය.අතීතයේ කුඹුරු ගොවිතැන ජීවිකාව කරගෙන ගිය අපේ මුතුන් මිත්තන් සිංහල අලුත් අවුරුද්දට සූදානම් වන්නේ බක් මාසය එළඹෙනවාත් සමගය.නෙලා ගත් මේ වී අස්වැන්න අපට එකවිටම පරිභෝජනය කිරීම තහංචිය.මෙහි පළමු කොටස “අග්‍රශෂ්‍ය” ලෙස දෙවියන්ට පූජා කළ යුතුය.මෙය “අක්යාල” ලෙස හඳුන්වයි. මෙම “අක්යාල” නිවසෙහි වූ උස් ස්ථානයක තැන්පත් කරයි.
ගමේ සියලුම ගොවි මහත් මහත්වරු එකතුවී ගම්බාර,වීරමුණ්ඩ,දැඩිමුණ්ඩ,අයියනායක,කතරගම හා සුමන සමන් ආදී දෙවිවරු හත් දෙනෙකුට මේ අස්වැන්නෙහි පළමු කොටස පූජා කරයි.මේ ආකාරයට දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුව ඉතිරි අස්වැන්න පරිභෝජනයට පරිභෝජනය සදහා යොදාගනියි.මෙම මුට්ටි මංගල්‍ය චාරිත්‍රය මගින් ප්‍රාර්ථනා කරන්නේ ලබන්නා වූ අලුත් අවුරුද්දේ සශ්‍රීකත්වය යි.
02.කුණු මුත්තා පිදීම

අවුරුද්දට පෙර දවසේ එනම් පරණ අවුරුද්ද දවසේ ගේදොර අතුගා පිරිසිදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කරයි.මෙම “කුණු මුත්තා පිදීම චාරිත්‍රය” අතීතයේ සිටම සිදුකරගෙන ආ චාරිත්රයකි.ලෝකය තුළ මේ චාරිත්‍රය සිදු කරන්නේ ලංකාව තුළ පමණක් වීම සුවිශේෂත්වයකි.මෙය ප්‍රදේශ අනුව “කුණු ටිකිරා” ” හළු බොක්කා” ලෙස ද හඳුන්වයි.සිංහල සංස්කෘතිය තුළ මෙය කාන්තා පාර්ශවය විසින් සිදු කළ ද දමිළ සංස්කෘතිය තුළ පිරිමි පාර්ශවය විසින් සිදු කරයි.කුස්සියේ එකතු වන කුණුරොඩු සියල්ල බැද්දට ගෙනගොස් දමන්නේ මෙතෙක් කල් ගෙදර භාවිතා කළ ඉලපත ද එයට එක් කරමිනි.” ඕං මේ වංගියේ අපේ ලිප් බොක්ක කුණු මුත්තාට බාරයි.” කියා පවසා කුණු රොඩු ඉවත දමා එන කාන්තාව අත පය සෝදා නිවසට ගොඩවන්නේ “ඕං මේ වංගියේ අපි කුණු මුත්තා පිදුවා එහෙනම්” කියාය
03.කෝඳුරු කැවුම

අතීතයේ අද වගේ නොවේ.අවුරුදු කැවිලි පෙවිලි සකස් වූයේ නිවස තුළමය.කැවිලි පෙවිලි නිර්මාණයට තෙල් තාච්චිය ලිප තබන්නේ සතියේ සුබ දවස් බැලීමෙන් අනතුරුවය.සඳුදා බ්‍රහස්පතින්දා ඉරිදා වැනි දවස් ඒ සුභ දවස් අතර වේ.තාච්චියට තෙල් පුරවා කැවුම් හැන්ද හා තවත් ලී කෝටුවකින් කෝච්චිය හතරට බෙදා ” සතර දිශාවෙන් පැමිණෙන අපල උපද්‍රව වලකා දෙවියන්ගේ ආරක්ෂාව ලබා සතර පේරුවටම බෙදන්න කැවුම් මුට්ටිය පිරේවා!”යන ප්‍රාර්ථනාවත් සමගම කැවුම් සකස් කිරීම ආරම්භ කරයි.ප්‍රථමයෙන්ම හැදෙන කැවුම හඳුන්වන්නේ “කෝඳුරු කැවුම” ලෙසයි. මන්ද මේ මුල්ම කැවුම නිවසෙහි එල්ලා තබන්නේ කෝඳුරුවන්ට එහි වැසීම පිණිස ය.කැවුම වටා කෝඳුරුවන් වසන නිසා නිවසේ අයට කෝඳුරුවන් ගෙන් කරදරයක් සිදු වන්නේ නැත.
04.අවුරුදු කුමාරයා පිළිගැනීම

අවුරුදු කුමාරයා පිළිගැනීමට අතීතයේදී අවුරුදු චාරිත්‍රයක් වෙන්වී තිබුණි.පුණ්‍ය කාලය නැතිනම් නොනගතය එළඹෙන්නට ප්‍රථමව නැගෙනහිර දිශාවට නැතිනම් හිරු කුමාරයා වඩින දිශාවට වන්නට මල් පැලක් පැලක් අටවයි.ඉන්පසුව නැකතට පිළියෙල කරන කිරිබත් වලින් කොටසක් කැවිලි වර්ගයක් සමග පිළිගන්නවා පහනක් දැල්වීමෙන් අවුරුදු කුමාරයා පිළිගැනීමේ චාරිත්‍රය සිදුකරයි.මෙම පහන දැල්වීම හිස තෙල් ගැල්වීමේ දිනය දක්වාම සිදුකිරීම සුවිශේෂත්වයකි.
05.කිරිගහට කෙටීම

අලුත් අවුරුද්ද ලැබුවාට පසු ව එළැඹෙන නැකතක් වන්නේ වැඩ ඇල්ලීමේ නැකතයි.නොනගතයට අප වැඩ අත් හැරියාට පසු අලුත් අවුරුද්දේ ප්‍රථමයෙන්ම සිදුකෙරෙන කරන චාරිත්‍රය වන්නේ වැඩ ඇල්ලීමයි.පුරාණ ගැමියෝ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉෂ්ඨ කළේ කිරි ගහකට කෙටීමෙනි.මෙය නිවසෙහි ගෘහ මූලිකයා මූලික වීමෙන් සිදු කරන චාරිත්රයකි.
06.මංකඩ සමග ගනුදෙනු කිරීම

නිවසක පිරිමි පාර්ශවය වැඩ ඇල්ලීම සිදු කරනවා සේම කාන්තා පාර්ශවය වැඩ ඇල්ලීම සිදු කරන්නේ මංකඩ සමග ගණුදෙනු කිරීමෙනි.නිවසෙහි ලිද නැතිනම් මංකඩට ගොස් අඟුරු කැබැල්ලක්,පිච්ච මල් කිහිපයක්, තඹ කාසියක් වැනි දෑ වතුරට දමා වැඳ නමස්කාර කොට ඉන් අනතුරුව තම කළ වලට වතුර පුරවා ගනියි.ඉන් සංකේතවත් කරන්නේ සෞභාග්‍යමත් අවුරුද්දකට ආශිර්වාද ලබා ගැනීමයි
සටහන
පෙවින්ද්‍යා රශ්මි.
