වෙනදාටත් වඩා මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරයි.ඒ මෙවර නැකැත් සීට්ටු දෙකක් අනුගමනය කිරීමට ඇති නිසාවෙනි.
පිරිසක් රාත්‍රියේ අවුරුදු චාරිත්‍ර ඉටු කරන අතර තවත් පිරිසක් උදෑසන අවදි වී අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරනු ලබයි. මේ පිළිබඳව කරුණු දැනගැනීමට අප සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රවීණ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත මහතාට ආරාධනා කළෙමු.
නැකත් වලට වඩා මේවා සුබ මුහුර්ත
මෙවර අලුත් අවුරුද්දේ දී විකල්ප මතවාදයක් ලෙස කණ්ඩායමක් විසින් රාත්‍රියට තිබෙන නැකත් සුබ නොවන අතර උදෑසන කාලයේදී පවතින නැකත් සුබයි ලෙස පවසනු ලබනවා. මම නැකත් හි සුබ අසුබ බැලීමට වඩා ජනශ්රැති විද්‍යාවට අනුව සිතන්නේ ඒවා නැකත් හා බැඳුණු සංස්කෘතික ක්‍රියාකාරකම් පද්ධතියක් ලෙසයි.මේවා සිරිත් විරිත් නැතිනම් වත්පිළිවෙත් ලෙස හඳුන්වන්න පුළුවන්.වත්පිළිවෙත් සකස් වන්නේ නැකත් මුල් කරගත් සම්ප්රදායක් මත.එබැවින් මේවා නැකත් ලෙස හැඳින්වීමට වඩා සුබ මුහුර්ත ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍යයි. ඊට හේතුව, ජෝතිශ්යවේදයට අනුව නැකත් සෑම වේලාවකදීම බිහි නොවන අතර ඒවා ඉතා දුලබ වීම.
ජෝතිශ්‍යවේදය අද ව්‍යාපාරයක් බවට පත්වෙලා.
අද බොහෝ දෙනා නව මාධ්‍ය තුළ ජෝතිශ්‍යවේදය අලෙවි කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු ලෙස ජෝතිශ්‍යවේදය භාවිතා කරනවා. අද බහුතරයක් ප්‍රජාවට ජෝතිශ්‍යවේදය පිළිබඳව වැටහීමක් නැහැ.ඒ නිසා ජෝතිශ්‍යවේදීන් ප්‍රජාව මුළා කරමින් තමන්ගේ ලාභය සඳහා කටයුතු කරනවා.
අද පවතින්නේ සැමටම පොදු නැකතක්
අලුත් අවුරුද්දේ දී නැකත් ගොඩනගා තිබෙන්නේ කාලානුරූප වෙනස්කම් රැසකට ලක්වීමෙනි. වර්තමානයේ අප අනුගමනය කරන්නේ 1988 වසරේ සිට ජාතික නැකත් කමිටුව ප්‍රකාශයට පත්කරන නැකත් ය. එය ඔවුන් සකසා තිබෙන්නේ පොදු නැකතක් ලෙස ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාට අනුගමනය කළ හැකි පරිදි ය.මෙය ජෝතිශ්‍යවේදය පිළිබඳව වැටහීමක් ඇති තැනැත්තෙකුට තේරුම් ගත හැකි කරුණකි.එනම් මෙහි තිබෙන්නේ සැබෑ පසුබිම නොවන අතර පොදු එකඟතාවක් පමණක් බවයි.යම් නැකතක් 09.05ට උදා වන්නේ නම් එම වේලාවේ සිට ඊළඟ විනාඩි කිහිපයත් සුබ වේලාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. 09.05 ට සුබ නැකත උදා වී 09.07 වන විට එම නැකත අසුබ වන්නේ නැත.එනම් තත්පර කීපයක් හෝ විනාඩියක් කාලය වෙනස් වූයේ නම් එයින් අවැඩක් , නොහොඳක් සිදුවන්නේ නැහැ.එයයි නැකත්වල ස්වභාවය.
අතීතයේ නැකැත් වේලාවන්
අපේ පැරණි සම්ප්රදාය තුළ නැකත් වේලාවන් ගණනය කිරීමෙහි විද්‍යාත්මක පදනමක් පැවතුණා.එකල ගණනය කළේ සූර්යකේන්ද්‍ර සම්ප්රදාය මත. වර්තමානයෙත් එම සම්ප්රදායම තරමක් වෙනස් අයුරකින් භාවිතා වනවා. අතීතයේදී ජෝතිශ්‍යවේදීන් ගණනය කරන්නේ තමන්ගේ ප්‍රදේශයේ ප්‍රජාව ජීවත්වන ඒ ඒ පරිසරයන්ට ඉර මුදුන් වන වේලාවන්ට අනුවයි.එම ගණනය කිරීම් තල්පත්වල ලිවීමෙන් පසුව නැකක් සීට්ටුව ලෙස හඳුන්වනවා.එකළ මේ සම්බන්ධව රජුට කටයුතු කළ පුද්ගලයින් නැකත් කෝරාල,නැකත් විදානේ,නැකැත් මොහොට්ටාල ලෙස හඳුන්වනවා.රජු අනුගමනය කළ සම්ප්රදාය අනෙකුත් ප්රජාවද අනුගමනය කළ නිසා එකල වර්තමානයේ මෙන් ගැටුම් ඇති වූයේ නැත. මෙලෙස පැමිණියා වූ පිළිවෙත වර්තමානයේදී සම්මත නැකත් කමිටුව මගින් ඒක රේඛීය ලෙස අනුගමනය කරනවා.රටක ප්‍රජාවගේ කැමැත්ත මත පැවතෙන ජනශ්‍රැතික උරුමයක් ලෙස චාරිත්‍ර වාරිත්‍ර හඳුන්වන්න පුළුවන්.ජනශ්රැතියෙන් පැවත ආ බවක් ප්‍රජාවට වැටහීමක් නැති වුවත් පරම්පරාගතව පැවත ආ බවක් ඔවුන් ප්‍රකාශ කරයි.සංස්කෘතික උරුමයන් මුඛ පරම්පරාගතව පැමිණි අස්පර්ශනීය දැනුම් පද්ධතියක් වේ.
අවුරුදු කශේරුකාවේ සුසුම්නාව වෙන්නේ නැකැත්.
පොදු සම්මත එකඟතාවල වුනත් ප්‍රජාව අනුගමනය කරන්නේ චාරිත්‍ර / පිළිවෙත්.ඒ චාරිත්‍ර / පිළිවෙත් තුළ ඇත්තේ සංස්කෘතික ක්‍රියාකාරකම් ය.මේ සංස්කෘතික ක්‍රියාකාරකම් නිසා පුද්ගලයාට වින්දනයක් ලැබෙයි.ප්‍රජාව සිරිත් විරිත් අනුගමනය කරන්නේ ඔවුන්ට ඉන් ආත්ම තෘප්තියක් ලැබෙන නිසාවෙනි.සංක්‍රාන්ති කාලයක් ගත කරමින්, ඊළඟ නැකත එනතුරු ඊට සූදානම් වෙන්නේ ඒවා මගින් ආත්ම වින්දනයක් ලැබෙන නිසාවෙනි. සිරිත් හා බැඳුණු සංස්කෘතික පුරුක් වලින් නිර්මිත වූ අවුරුදු නම් කශේරුකාවේ සුසුම්නාව වන්නේ නැකැත් ය. ඕනෑම රටක විකල්ප මත ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත.නමුත් මෙම විකල්ප මතධාරීන් සිදුකරන්නේ ප්‍රජාවන් විසින් අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගාගෙන ආ උරුමයක සුසුම්නාව ඉවත් කිරීමයි.එලෙස සිදුකොට ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුනොවුන්ගේ ව්‍යාපාර සිදු කිරීමයි.මෙන්න මෙතන තමයි ගැටළුව පවතින්නේ.
ඇතැම් රටවල සංස්කෘතිය බලෙන් පවරා ගනියි.
වර්තමානයේ ලංකාවේ සන්නිවේදන අධිපතිත්වය තිබෙන්නේ නව පරම්පරාව සතුවයි.නමුත් ඔවුන්ට මේ සංස්කෘතිය පිළිබඳව වැටහීමක්, ඇල්මක් නැහැ.ඔවුන්ට සංස්කෘතිය පවරාදෙන වැඩපිළිවෙලක් ඇත්තෙත් නැහැ.එවිට මේවා වැඩක් නැහැ යනුවෙන් මතවාද ගොඩනගනවා.නමුත් සංස්කෘතියක් නොමැති රටවල ප්‍රජාව සංස්කෘතිය බලෙන් පවරාගෙන ඒවා අනුගමනය කර ආත්මීය වින්දනය ලබන විට අපේ ප්‍රජාවට විඳින්න පුළුවන් වටිනා අවස්ථාවක් විනාශ කරගන්නවා.
රාත්‍රියට නැකැත් තිබුණු පළමු වතාව මෙය නොවේ.
අධික අවුරුද්දක් වසර හතරකට වරක් ඇති වන බැවින් රාත්‍රියට නැකැත් තිබුණු පළමු වතාව මෙය නොවේ. බොහෝ විට අධික අවුරුද්දක් ලබන විට රාත්‍රියට හෝ අලුයමට නැකැත් ඇතිවෙනවා.අද බොහෝ දෙනා ඉන්නේ හීනයක. ඔවුන්ට මතක නැහැ මීට කලිනුත් රාත්‍රියට හෝ පාන්දර යාමයට නැකැත් තිබුණු බව.
රාත්‍රියට කිරිබත් කෑම
රාත්‍රියට කිරිබත් අනුභව කිරීමෙන් හානියක් වන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ එක් වේලකට සංකේතාත්මකව කිරිබත් ආහාරයට ගැනීම පමණයි. සංකේතාත්මකව රාත්‍රියට කිරිබත් අනුභව කිරීමෙන් මිනිසුන් මියයන්නේ නැහැ.හුඹස් බිය යනුවෙන් ජනවහරේ කියමනක් තියෙනවා.මෙහිදී සිදුවන්නෙත් එයමයි.මිනිසුන්ට තමා කවුරුන්ද යන්න පිළිබඳවත් පැහැදිලි චින්තනයක් නැහැ.මෙවැනි පුහු මතවාදයන් නිසා සිදුවන්නේ රටක සංස්කෘතික පැවැත්ම බිඳවැටීමයි.
එකිනෙකාගේ පෞද්ගලික ලාභය අරමුණු කොටගෙන සිදුකරන මෙවැනි හුඹස් බියවීම් වලට බිය නොවී පැහැදිලි ඥානනයක් පවතින ප්‍රජාවක් ලෙස එක්ව කටයුතු කරන්නේ නම් පරම්පරාගතව පැවතෙන සංස්කෘතික උරුමයන් ඊළඟ පරම්පරාවන්ට පවරා දීමට හැකියාව ලැබෙයි. එබැවින් කළ යුත්තේ තමන් පිළිබඳව විශ්වාසයෙන් යුතුව අලුත් අවුරුද්ද සැමරීමයි.
සාකච්ඡා සටහන
පෙවින්ද්‍යා රශ්මි