සන්නිවේදනය කෙරෙහි නවීන තාක්ෂණයේ බලපෑම

author
0 minutes, 25 seconds Read

මිනිසා අනෙක් සියලුම සතුන්ගෙන් වෙන් කරන ප්‍රධාන දෙය වන්නේ සන්නිවේදනයයි. ඉතා සුක්ෂම මට්ටමින් සන්නිවේදනය කිරීමට මිනිසාට ඇති හැකියාව නිසා ශිෂ්ටාචාරයන් ගොඩනැගීමට සහ උසස් තාක්ෂණයන් වර්ධනය කිරීමට අපට හැකි වී තිබේ. එතැන් සිට තාක්ෂණය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර අන්තර්ජාලය වැනි සන්නිවේදන තාක්ෂණයන්හි විශාල පිම්මක් ඇති වී තිබේ. තාක්ෂණය හරහා වේගයෙන් සන්නිවේදනය කිරීමට අපට ඇති හැකියාව නිසා සන්නිවේදනයේ ගුණාත්මකභාවය ද යම්තාක් දුරට පිරිහී ඇත. අද වන විට මුළු ලෝකයම එක් විශ්ව ගම්මානයකි. නව තාක්ෂණයේ වර්ධන වේගය වැඩි වන විට සන්නිවේදනයේ නව්‍ය ක්‍රම නිර්මාණය වීම සිදුවෙයි. ඒ නිසා එකකට වඩා බොහෝ ආකාර වලින් මිනිසුන් සන්නිවේදනය කරන ආකාරය වෙනස් කර ඇත. නවීන සන්නිවේදනයේ පහසුව, වේගය, ව්‍යාප්තිය ඇතුළු යම් යම් වාසි ඇතත්, අන්තර්ගතයේ ඌනතාවය, භාෂා ව්‍යාකූලත්වය වැනි අවාසි නොසලකා හැරීමට තරම් සුළුපටු නොවේ.

තාක්ෂණයේ දියුණුව අපගේ ජීවන රටාව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත. සන්නිවේදන ශිල්පීය ක්‍රම ඇතුළුව ජීවිතයේ සෑම අංශයකටම එහි බලපෑම ඇති වී ඇත. සංකේතවල සිට නවතම ස්මාර්ට් ජංගම දුරකථනය දක්වා සන්නිවේදනයේ දියුණුව විශාල ප්‍රගතියක් ලබා ඇත. සෑම සියවසකම දිනෙන් දින වර්ධනය වන සන්නිවේදන මාධ්‍ය ලැයිස්තුවට නව එකතු කිරීමක් දක්නට ලැබේ. 1875 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් විසින් දුරකථනය සොයා ගැනීම මිනිසාගේ සන්නිවේදනයට විශාල වශයෙන් බලපෑ පළමු තාක්ෂණික සොයාගැනීමයි. අන්තර්ජාලය, ජංගම දුරකථනය වැනි වෙනත් නව නිපැයුම් සන්නිවේදන ලෝකය තවදුරටත් පහසු කළේය.

රූපය 1: ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් 1892 දී නිව්යෝර්ක් සහ චිකාගෝ අතර පළමු ඇමතුම ලබාගන්නා අයුරු

තාක්ෂණය නිරන්තරයෙන් අප සන්නිවේදනය කරන ආකාරය වෙනස් කරයි. මීට වසර ගණනාවකට පෙර සන්නිවේදනය කලහැකි එකම ආකාරය වූයේ මුහුණට මුහුණ, ලිපි සහ දුරකථනයයි. අන්තර්ජාලය සොයාගැනීම වැනි ඩිජිටල් තාක්ෂණයට මාරුවීම මිනිසුන් සන්නිවේදනය කරන ආකාරය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇත. සන්නිවේදනය මිනිසුන්ට වැදගත් වන අතර අපගේ ලෝකයේ එය වැදගත් කොටසකි. මිනිසා සමාජීය සත්වයෙකි, එබැවින් සමාජගත කිරීම සඳහා අත්‍යවශය මෙවලමක් ලෙස සන්නිවේදනය අවශ්‍ය වේ. අන්තර් පුද්ගල සන්නිවේදන කුසලතා කෙරෙහි අවධානය යොමු කිරීම, පුද්ගලයන් අතර පණිවිඩ සන්නිවේදනය විකෘති කිරීමට හෝ අවහිර කිරීමට උපකාරී වන ක්‍රියාවලින් නමුත් ඵලදායි ලෙස සන්නිවේදනය කිරීම සඳහා සක්‍රීයව සවන්දීම, භාවිතය සහ body language සහ මුහුණේ ඉරියව් අර්ථ නිරූපණය වැනි මුලික කුසලතා අවශ්‍ය වේ. ජංගම දුරකථන, විද්‍යුත් තැපෑල, සමාජ ජාල වැනි නව නිපැයුම් සන්නිවේදනයේ පහසුව සඳහා නිර්මාණය කර ඇත.

තාක්ෂණික දියුණුව සන්නිවේදනය කෙරෙහි බලපා ඇති ආකාරය

රූපය 2: නවීන තාක්ෂණය නිසා සන්නිවේදනය වෙනස් වී ඇති අයුරු

වර්තමානයේ, දුරකථනය සොයාගැනීමේ සිට සන්නිවේදනයේ විශාලතම තාක්ෂණික දියුණුව අන්තර්ජාලයයි. අන්තර්ජාලය ඕනෑම තැනක, ඕනෑම කෙනෙකුට සහ ඕනෑම වේලාවක ප්‍රවේශ විය හැකි ලෝක ව්‍යාප්ත ජාලයකට ඉඩ දී ඇත. නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ මෙන්ම සන්නිවේදනයේ අවාසි ද ඇත. එපමණක් නොව, ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාෂා කුසලතා කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරයි. ඊළඟ පරම්පරාව මේ පිළිබඳ දැනුවත් කිරීමේ අරගලයේදී, සාක්ෂරතාවය, නිර්මාණශීලීත්වය සහ චින්තනය යන සියල්ලම තාක්ෂණික සන්නිවේදනයේ බලපෑමට ලක්වේ. සන්නිවේදන තාක්ෂණයේ ඇති තවත් අඩුපාඩුවක් නම්, විවිධ තාක්ෂණයන් හරහා වැඩි වැඩියෙන් මිනිසුන් සමඟ සන්නිවේදනය කිරීමට අපට දැන් ඉඩ දී තිබියදීත්, බොහෝ දෙනෙකුට සම්බන්ධවීමට වඩා හුදකලා බවක් දැනීමයි. මිනිසුන් අතර සමාජගත වීම හරහා ජීවිතය නාට්‍යාකාර ලෙස වෙනස් වී ඇත. පුද්ගලයින් වැඩි වැඩියෙන් ඔවුන්ගේ සැබෑ සමාජ ජීවිතයට වඩා ඔවුන්ගේ online ජීවිතය ගැන වැඩි සැලකිල්ලක් සහ උනන්දුවක් දක්වයි. තාක්ෂණික ක්‍රම වාචික නොවන සන්නිවේදනයට ද බලපා ඇත.


වර්තමාන පරම්පරාව අන් අයට මුහුණට මුහුණලා අදහස් සහ සිතුවිලි ප්‍රකාශ කිරීමේ හැකියාව වැනි අත්‍යවශය අන්තර් පුද්ගල කුසලතා නොමැති පිරිසක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා කෙටි පණිවිඩ යැවීම සහ කතාබහ කිරීම හරහා සිදුවන සන්නිවේදන වාර ගණන වැඩි වීම මෙම ප්‍රවණතාවයට ප්‍රධාන හේතුවක් ලෙස කැපී පෙනේ. යමෙකු සමඟ මුහුණට මුහුණ සන්නිවේදනය කිරීම මිනිසුන්ට ඔවුන්ගේ වාචික නොවන ඉඟි, එනම් සිනහවක් හෝ සියුම් නළල රැලි ගැසීමක් පවා නැරඹීමට ඉඩ සලසයි. මෙය සන්නිවේදනයේ තවත් එක් ස්ථරයකි. තාක්ෂණය මිනිසුන්ට මෙවැනි වාචික නොවන ඉඟි අල්ලා ගැනීමට ඉඩ ලබා නොදෙයි. වරක් ඇලස්කාවේ මනෝවිද්‍යාඥයෙකු වන Dr. Pam Hayes මෙලෙස පවසා ඇත. එනම්, “ඔබ අන්තර්ජාලයේ වැඩ කරන විට මුහුණේ ඉරියව් සහ ශරීර ඉඟි නැති වන නිසා මුහුණට මුහුණ හරහා අන්තර්ක්‍රියා කිරීමේ වැඩි පොහොසත්කමක් ඇති වීමේ හැකියාවක් ඇතැයි මම සිතමි” යනුවෙනි.

නොසලකා හැරිය නොහැකි තවත් එක් සෘණාත්මක බලපෑමක් වන්නේ සෑම කෙනෙකුටම විදුලිය ඔස්සේ සිදුකරනු ලබන සන්නිවේදනය සමග එකම මට්ටමේ ප්‍රවේශයන් නොමැති වීමයි. මෙය අංකිත බෙදුම ලෙස හඳුන්වන අතර එයින් අදහස් කරන්නේ පුද්ගල කණ්ඩායම් තුළ සන්නිවේදන තාක්ෂණ කුසලතාවල පවතින වෙනසයි. තාක්ෂණය පිළිබඳ ගත්කල සෘණාත්මක මෙන්ම ධනාත්මක බලපෑම් ද පවතින අතර එහි ඇති සෘණාත්මක බලපෑම් ගැන අපි ඉහතදී සාකච්ඡා කලෙමු. තාක්ෂණයේ ධනාත්මක බලපෑම් ද බොහෝමයක් පවතින අතර ඒවා අපිට සන්නිවේදනය ඵලදායිව භාවිතා කිරීමට උපකාරී වේ. වර්තමානය වන විට සන්නිවේදනය දියුණු මට්ටමක පවතී. ඒ තාක්ෂණයට පින් සිදුවන්නටය. අද සන්නිවේදන තාක්‍ෂණය බොහෝ දියුණු වී ඇති අතර, ඒ දියුණුව නිසාම මෙය මිනිසාට නැතුවම බැරි දෙයක් බවට පත්ව අවසන්ය. උදාහරණයක් ලෙස ගත්කල ජංගම දුරකථනය හා විද්‍යුත් තැපෑල හැඳින්විය හැකිය. ජංගම දුරකථනය කෙතරම් ජනජීවිතයට සම්බන්ධව ඇති දැයි කිවහොත් සෑම පුද්ගලයෙකු සතුවම ජංගම දුරකථනයක් ඇත. එයට හේතුව එදා දවස් ගණනකින් යැවු පණිවිඩය දැන් ජංගම දුරකථන හෝ විද්‍යුත් තැපෑල භාවිතයෙන් තත්පර ගණනකින් යැවිය හැකි වීමයි.

නවීන සන්නිවේදන තාක්ෂණය ලොවට සිදුකල යහපත

මිනිසුන් අතර අඩු කාලයක් තුලදී වැඩි වේගයකින් තොරතුරු හුවමාරු කිරීම හා ඒ සඳහා පෙළඹවීම නවීන සන්නිවේදන තාක්ෂණය ලොවට සිදුකල යහපතක් ලෙස අපට හැදින්විය හැකිය. මෙහිදී මිනිසුන් තොරතුරු හුවමාරු කිරීමේදී නවීන තාක්ෂණය යොදාගැනීමට යොමු වී ඇත්තේ නවීන සන්නිවේදන තාක්ෂණයේ ඇති වේගය, ආරක්ෂාව, විශ්වාසදායකබව හා ලොව ඕනෑම තැනකට තම පණිවිඩය යැවිය හැකි නිසාය. මෙම නවීන සන්නිවේදන තාක්ෂණයට රෝගාබාධ, හදිසි අවස්ථා සහ හානිකර තත්ත්වයන් පිළිබඳව තත්පර කිහිපයකින් ලොවට දැනුම් දීමේ හැකියාව ඇත. මෙම ක්‍රම ඔස්සේ පෙනීයන්නේ ලෝකයේ සන්නිවේදන වේගය ඉහළ මට්ටමක පවතින බවයි. නවීන තාක්ෂණය අපගේ ජීවිතය වෙනස් කර ඇත. මිනිසුන්ට අන්තර්ජාලයට නිරන්තරයෙන් ප්‍රවේශ වීමට අවස්ථාව ඇති අතර, එහි දී ඔවුන් වැඩ කිරීමට, අධ්‍යයනය කිරීමට සහ එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමට බොහෝ කාලයක් ගත කරයි. තාක්ෂණය සන්නිවේදනය පහසු කරන අතර මිනිසුන්ට දුරස්ථව සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි. මුහුණට මුහුණ හමුවීම්වලින් බැහැරව අතථ්‍ය (Virtual) සන්නිවේදනය දක්වා එය දියුණු වී ඇත. තාක්ෂණය අප එකිනෙකා සමඟ සන්නිවේදනය කිරීමේ විප්ලවීය පරිවර්තනයක් ඇති කර ඇත. සංඛ්‍යාලේඛන වලට අනුව, තරුණයින් නවීන තාක්ෂණය හරහා සන්නිවේදනයට හුරුවී ඇති අතර වැඩිහිටි පුද්ගලයින් මුහුණට මුහුණ ඔස්සේ සිදුකරනු ලබන සන්නිවේදනයට කැමැත්තක් දක්වයි.

වැඩි වැඩියෙන් මිනිසුන් අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීමට කැමති ඇයි?

මේ පැනයට පිළිතුරු සැපයීම ඉතාමත් පහසුය. වෙනත් පුද්ගලයින් බැලීමට යම් ස්ථානයකට යාමට කාලය ගත කිරීම අවශ්‍ය නොවේ. තාක්ෂණය අපගේ කාලය ඉතිරි කරයි. ඊටත් වඩා අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම පහසුය. උදාහරණයක් ලෙස ගත්කල සැබෑ ජීවිතයේදී යෞවනයන්ට අලුත් මිතුරන් දැන හැඳින ගැනීම තරමක් දුෂ්කර වූවත් අන්තර්ජාලය හරහා ගෝලීය වශයෙන් සිටින ඕනෑම මිතුරෙකු පහසුවෙන් සොයාගැනීමට, දැන හැඳින ගැනීමට අන්තර්ජාලය ඔවුන්ට වඩාත් උපකාරි වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන් අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීමට වැඩි කාලයක් ගත කරයි. දිවා වෙහෙස නොබලා කියන්නට අවශ්‍ය සියලුම තොරතුරු තම ඇඟිලි තුඩු වලින් ටයිප් කිරීමට ඔවුන් පුරුදු වී සිටිති. අන්තර්ජාලයේ උපකාරයෙන් සැබෑ ජීවිතයේ සන්නිවේදනය කිරීමේදී මිනිසුන් ව්‍යාකූල වන බොහෝ අපහසුතා මඟහරවා ගනී. ඔබට අවශ්‍ය දෙයක් ඔබ නොදන්නේ නම්, ඔබට එය අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයා ගත හැකි අතර හොඳින් උගත් හා දක්ෂ පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය නිර්මාණය කළ හැකි අතර සැබෑ සන්නිවේදනයේ දී ඔබට මෙය ප්‍රහේලිකාවක් විය හැකිය. එවැනි බොහෝ කරුණු හේතුකොට ගෙන මිනිසුන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීමට පෙළඹී ඇත.

රූපය 3: Virtual Reality (VR) තාක්ෂණය යොදාගනිමින් වැඩකටයුතු සිදුකරන අයුරු

නවීන තාක්ෂණයන් මිනිසුන් එක් අතකින් ලෝකය සමඟ වඩාත් සම්බන්ධ වන අතර අනෙක් පැත්තෙන් ඔවුන්ව හුදකලා කරයි. තාක්ෂණය මගින් සපයනු ලබන සන්නිවේදනයේ පහසුව අපගේ ජීවිත වැඩිදියුණු කර ඇත. තොරතුරු තාක්ෂණය සහ දියුණු විදුලි සංදේශ සමස්ත ජාතියේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරයි. විෂය ආවරණය සහ බෙදාහැරීම යන දෙකම වැඩිදියුණු කිරීමේදී Telecom සේවා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඉතා දුරස්ථ ප්‍රදේශවල පවා අධ්‍යාපනය සඳහා ප්‍රවේශය එමඟින් පුළුල් වේ. අන්තර්ජාලය, පරිගණක, විද්‍යුත් තැපෑල, ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සම්මන්ත්‍රණ හෝ රූපවාහිනි විකාශන සහ ගුවන්විදුලිය හරහා ළමයින්ට, කාන්තාවන්ට සහ පිරිමි පුද්ගලයන්ට ඉගෙනීමට අවස්ථාව උදාකර දෙනු ලබයි. විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ඉගෙනීමට කැමති පුද්ගලයින්ට අධ්‍යාපනයට ප්‍රවේශය ලබාදීම සඳහා වසර ගණනාවක් තිස්සේ ගුවන්විදුලිය සහ රූපවාහිනි විකාශන භාවිතා කර ඇත. මීට අමතරව සන්නිවේදන ක්‍රම වල දියුණුව වේගවත් තීරණ ගැනීම ප්‍රවර්ධනය කර ඇති අතර ලෝකයේ සංවර්ධනයට හා ප්‍රගතියට එය හේතු වී ඇත. බොහෝ ව්‍යාපාර සන්නිවේදනය සඳහා තාක්ෂණය මත රඳා පවතී. උදාහරණයක් ලෙස, අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන වීඩියෝ සම්මන්ත්‍රණ හරහා සිසුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට හැකි වී ඇත.

අවසාන වශයෙන්, තාක්ෂණය මගින් සන්නිවේදනය වඩ වඩාත් පහසු කර ඇති අතරම, අද පවතින ගෝලීයකරණය වූ ලෝකය තුළ මිනිසුන් වඩ වඩාත් සම්බන්ධ වී ඇත. ඇතැම් අවස්ථාවල තාක්ෂණය අන්තර් පුද්ගල සන්නිවේදනය අඩු ඵලදායි දෙයක් බවට පත්කිරීමට සෘණාත්මක වශයෙන් බලපෑව ද සමස්තයක් වශයෙන් ගත්කල තාක්ෂණය සන්නිවේදනයේ දියුණුව උදෙසා අමිල මෙහෙයක් සිදු කර අවසන්ය. එය අනාගතයේදී තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වනු බව නොඅනුමානය.

References

M. (2011, June 7). An Overview of the Overall Impact of Technology on Communication. Retrieved from Techspirited.com: https://techspirited.com/impact-of-technology-on-communication

Francis, A. (2021, August 3). The Impact of Information Technology on Communication. Retrieved from MBA Knowledge Base: https://www.mbaknol.com/business-communication/the-impact-of-information-technology-on-communication/

Corgi, S. (2011, June 7). The Impact of Modern Technologies on Communication. Retrieved from StudyCorgi.com: https://studycorgi.com/the-impact-of-modern-technologies-on-communication/

සටහන –

සටහන

Buddhi Rangana

Information System Assistant

Nāgānanda International Institute for Buddhist Studies (NIIBS)

Similar Posts