මගේ නම තනුජා ප්‍රියදර්ශනී. බොරලැස්ගමුවේ පදිංචියි. පැපිලියානේ සුනේත්‍රා දේවී බාලිකා මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මම උසස් පෙළ අවසානයෙන් පසුව බාහිර උපාධිය හැදෑරුවා. නමුත් අතරමග මට අධ්‍යාපනය නවත්වන්න වුණා.
මම පවුලේ එකම දරුවා. මගේ තාත්තා ෆයිබර් රැකියාවක නිරත වුනත් ඒක ස්ථිර නැහැ. තැනින් තැන ලැබෙන ඇනවුම් අනුව වැඩ කරගෙන අපේ පවුලේ වියදම් පිරිමහ ගත්තා. හැමදාම වැඩ ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ස්ථිර අදායමක් තිබුනෙත් නැහැ.
විවාහ වුණා…
කාලයත් සමග මටත් විවාහ වෙන කලවයස ආවා. මව්පියන්ටත් නිදහසක් ඕන. පවුලේ එකම දරුවා හින්දත් මගේ විවාහය ගැන තීරණයක් ගන්න වුණා. 2007 වසරේ මම අම්මා කෙනෙක් වුණා. ඒ මගේ දුව නිසයි.
මේ අතරේ මගේ සැමියාටත් ස්ථිිර රැකියාවක් තිබුනේ නැහැ. අපේ අම්මත් ටික ටික අසනීප වෙන්න පටන් ගත්තා. අම්මාගේ අසනීප වෙනුවෙන් ගොඩක් වියදම් වුණා. මේ වගේ වෙලාවකදී මුදල්වල අවශ්‍යතාවය හොදින්ම දැනෙන්න වුණා.
2015 වසරේ මට දෙවැනි දුවත් ලැබුණා. පවුලේ වියදම් තවත් වැඩි වෙනවා. මගේ දෙමව්පියන්ට වගේම මගේ පවුලටත් හයියක් වෙන්න නම් ආර්ථික වශයෙන් අපි ශක්තිමත් වෙන්නම ඕන. මටත් ස්වයං රැකියාවක් කරන්න හිතුනේ මේ ආර්ථිික ප්‍රශ්න නිසයි.

ඔබ තෝරා ගත් ස්වයං රැකියාව..
අපේ තාත්තා ෆයිබර් වර්ක්ස් කරපු නිසා මටත් ඒ ගැන යම් අවබෝධයක් තිබුණා. ඒ නිසා මම FACEBOOK PAGE එකක් හැදුවා. ඒකට මම තාත්තාගේ නමින් “ මිල්ටන් ෆයිබර් වර්ක්ස් ” කියල නම තිබ්බා.
මම මුලින්ම හිතුවේ බුදුපිළිම හදනන්. නමුත් ලොකු ඉල්ලුමක් ලැබුනේ නැහැ. දැන් මොකක්ද කරන්නේ කියල මම හිතුවා. දෙවැනි පියවර විදිහට බුදුපිළිම අච්චු හදලා නිස්පාදනය කරන අයට විකුණන්න තීරණය කළා.
දැන් ටික ටික ඇනවුම් ලැබෙනවා. මේ කාලය වෙද්දී අච්චු හදා ගන්න මිනිස්සු අපව හොයා ගෙන එන්න පටන් ගත්තා. තාත්තා ගෙදරම පොඩියට ව්‍යාපාරය පටන් ගත්තා. “ මිල්ටන් ෆයිබර් වර්ක්ස් ” FACEBOOK PAGE එක නිසා අපි හොඳ ප්‍රසිද්ධියක් ලැබුවා. ඒත් වැඩිකාලයක් ව්‍යාපාරය ගෙනියන්න තාත්තාට ලැබුනේ නැහැ. ස්නායු රෝගයක් නිසා තාත්තා එක්තැන් වුණා.

තාත්තාගේ අසනීපය වෙනුවෙන් ප්‍රතිකාරවලටත් වියදම් හොයන්න ඕන. ඒ නිසා මේ ව්‍යාපාරය ඉදිරියට අරගෙන යන්න මම හිතුවා. මගේ තීරණය නිවරැදියි. මට ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබුණා. එතැන් පටන් අද දක්වාම මම ලංකාව පුරාම අච්චු නිර්මාණය කරල තියෙනවා. මේ නිෂ්පාදන වල ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට රබර් සහ සිලිකන් යොදා ගන්නවා. ඒවා අපි දේශීය වෙළඳපොලෙන් ලබා ගන්නවා.මේ නිෂ්පාදන බංගලාදේශයටත් යවලා තියෙනවා.
මගේ තාත්තාත් නැති වෙලා මේ අවුරුද්දේ ඔක්තෝබර් 12 වැනි දාට අවුරුද්දක් පිරෙනවා. අම්මත් නැති වුණා.
පිරිමි රස්සාවක් ගැහැණුන්ට බැරිද…?
අපේ සමාජයේ රැකියාවන් පවා ගැහැණු සහ පිරිමි විදිහට වර්ග කර ගෙන. අච්චු හදන කර්මාන්තයත් බොහෝ විට පිරිමින්ට සීමා වුන දෙයක්. නමුත් මම ඒ තැනට බය නැතුව අත තිබ්බා. අදට මගේ කර්මාන්තයට මගේ ලොකු දවු සහ මිතුරියක් උදව් වෙනවා. අමතර වැඩ ලැබුනාම මගේ නැන්දාගේ පුතාගේ සහයෝගය ලබා ගන්නවා. මේ වෙනුවෙන් කාන්තාවන් පමණක් සම්බන්ධ කර ගන්නෙත් අපේ ආරක්ෂාවට ඒ විතරක් නොවෙයි, කාන්තාවක් විදිහට තවත් කාන්තාවකට උදව් වෙන්න පුළුවන් නේද කියන පනිවිඩයත් මට සමාජයට ආදර්ශයෙන්ම ලබා දෙන්න ඕන. ගැහැණු අපට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන හැගීම අපි කාටත් තියෙන්න ඕන.
අද මම යම් තැනක සිටිනවා නම් ඒ මගේ තාත්තා නිසයි. නමුත් මේ දියුණුව දැක බලා ගන්න අද ඔහු මෙහි නැහැ.ඒක ලොකු දුකක්.
සටහන
සිල්වා, සි
