කින්නර අරණ – 15 කොටස

author
0 minutes, 14 seconds Read

ලීලාගේ ඇසුරේ සේනගේ සිත සුවපත් වෙමින් තිබිණි. එහෙමට නිතර මුණගැහීමක් නොතිබුණද සේන හට භාර වූ අලුත් රාජකාරියක් වූ බෙහෙත් පැළ සොයන්නට වෙද මහතා ප්‍රමුඛ නඩයට එකතු වී යද්දී ද, පෝ දාට පන්සලේදී ද ඔවුනට කතාබස් කරන්නට නිදහස තිබිණි. සේන වෙද නිවසටද ආවා ගියා වුවද, නිතර දෙවේලේ ගම්මුන් ගැවසෙනා එහි ඔවුන් එලෙස කතාබස් කරමින් හිඳින්නට පෙළැඹුනේ නැත. අවුරුදු ගණනාවකට කළියෙන් ගුණදාස හා මහා ගෝරියකට හේතු වූ අඹ ගෙඩිය පාසල ඇරී සේන එන මග තබා තිබුණේ තමා බව එලෙස බෙහෙත් සොයා එන ගමනකදී ලීලා හෙළි කළ මොහොතේ සේන වසර ගණනාවකට පසුව හඬ නගා හිනැහුණේය. ඉස්කෝලේ හාමිනේ හරි වැරදි ලකුණු කරන්නට ගෙදර රැගෙන ගිය අභ්‍යාස පොත් අතර තම පොත්වල අමුතු සලකුණු සටහන්ව තිබුණේ මන්දැයි ඔහු අවබෝධ කරගත්තේද එදිනය. “මං හිතා උන්නෙ එහෙ ලොකු අක්කාගේ පොඩි එකා පොත්වල කුරුටු ගාලා කියලා…” සේන පැවසුවේය.

“පොඩි එකා නෙවෙයි, පොඩි එකී… අපෙ අක්කාගෙ නෙවෙයි, අම්මාගෙ පොඩි එකී…” ලීලා පැවසුවේ හුරතල් හඬිනි.

සේන අත පොවන මානයේ වූ දං අහුරක් කඩා ඈ වෙත පෑවේය. ඔහුට තවමත් ඈ කෙරෙන් තමාගේම බාල නැගණියකට වඩා වෙනසක් දැනුණේ නැත. සිනහ පිරුණු වතින් එය දෝතට ගත් ලීලා ඉන් එකක් තම මුව ලාගෙන තවත් දං ගෙඩියක් ගෙන සේනගේ මුවට ළං කළාය.

“මට එපා. නගා කන්න…” සේන මුහුණ ඉවතට හැරවූවේය.

“අනේ… මං කවන හින්දා එකක් – එකම එකක් කන්න…..”

“අප්පච්චිත් යනවා නේද ඉස්සරහින්!” සේන එලෙස තරවටු කොට ඈ අත වූ දං ගෙඩිය සිය අතට රැගෙන මුවෙහි ලාගත්තේය.

“තියන ආඩම්බරකම!” ලීලා හිස ගස්සා ඉවත බලාගත්තාය.

එවර සේන ඈ අතින් දං ගෙඩි දෙකක්ම රැගෙන මුවෙහි ලාගත්තේය.

“මට කඩලා දුන්නේ? තියාගෙන තනියම කන්න තිබ්බානේ!” ඇය ඔහු වෙත දං පිරි දෝත පෑවාය.

නැවතත් ඉන් එකක් අතට ගත් සේන ඉදිරියේ යන නඩය දෙස ඉක්මන් බැල්මක් හෙලා එය ඇගේ මුවෙහි එබුවේය. නමුත් ඔහු මට්ටු කරන්නට මග බලා සිටි ලීලා ඔහුගේ ඇඟිලි දෙකක් රිදෙන්නටම සැපුවාය. “දැන් ඕකට බෙහෙත් කරගන්නත් එන්න වෙයිනේ මං ළඟට…” ඔහු නිහඬව වේදනාව දරාගෙන මුහුණ හකුලාගෙන සුරත ගසනා අතරේ ඇය ජයග්‍රාහීව උදම් ඇනුවාය.

“අපෙ අප්පච්චිට කවුරු කිව්වාද මං දන්නෙ නෑ හරි කරුණාවන්ත ගෑනු ළමයෙක් කියලා…”

“ආ, අප්පච්චි එහෙම කිව්ව නිසාද එතකොට හා කිව්වේ?”

“නැත්තං!”

එවන් සිනහ පිරි කතාබහ මැදින් ඈ හා ගෙවෙන හෝරාවන් ඔහුගේ සිත සැහැල්ලු කළේය. ඇය කිසිදු විටෙක ඔහුගේ අතීතය පිළිබඳ කිසිත් විමසුවේ නැත. විටෙක ඔහුගේ දෑස් ඈත අනන්තයක අතරමං වන වේලාවට ඈ කරන්නේ නිහඬව ඔහුගේ අතකින් අල්ලාගැනීමය. කුමක් සිදු වුවද ඈ ඔහු හා හිඳිනා බවට සවිමත් සිතුවිල්ල ඔහුට එලෙසින් දැනෙන්නට හැරීමය. එවන් විටෙක ඔහුටම සිය සිත පෙලනා දුක් කන්දරාව වමාරන්නට සිතුණහොත් ඈ කරන්නේ කිසිදු වෙනසක් නොපා ඒ සියල්ල අසා සිටීමය. ඔහුට වුවමනා ඒවාට පිළිතුරු බඳින්නෙකු හෝ ඔහුට ඇති තතු පහදා දෙන්නෙකු හෝ නොව සවන් දෙන්නෙකු පමණක් බව ඇය හොඳින්ම දැන සිටියාය. සිය පියාටත්, මිතුරාටත් වඩා සේන ඈ වෙතින් සැනසීමක් ලැබුවේ ඈ ඔහු වෙනුවෙන් වෙන් කළ එම සුවිසල් දෙසවනත්, කාලයත් නිසාය. නමුත් අන් එකියකට තම සිත තුළ තවමත් නොසිඳී පවතින ආදරය ගැන තමා දොඩනා වදනක් පාසා එම අහිංසකියගේ සිත පෑරෙන බව සේනට සිහිපත් වූයේ නැත. තම පෑරෙන සිතට වඩා, එම ගිලිහෙන වදනක් පාසා ඔහුගේ සිතට දැනෙන සැනසීම වටිනා බව විශ්වාස කළ ලීලා ද ඔහුට කිසිදු මොහොතක බාධා කළේ නැත.

එම ලිපිය ඔහු අතට පත් වූයේ එක් හිමිදිරියක එලෙස බෙහෙත් පැළ සොයන්නට ගොස් ඈ ඇසුරේ හෝරා ගණනක් ගෙවා පැමිණීමෙන් අනතුරුව ය. මෙතරම් කාලයකට පසු එංගලන්තයෙන් තම නමට ලිපියක් පැමිණි මොහොතේ හඬන්නද සිනහසෙන්නදැයි ඔහුට පළමුව සිතාගන්නට නොහැකි විය. තමා ඈ වෙත යවන්නට සිතූ අවසන් ලිපිය තැපෑලට යොමු කළේ දෙදිනකට ඉහතදීය. එය තවමත් ලංකාවෙන් හෝ පිට වී තිබෙන්නට හැටියක් නැත. ලියුම් බෙදන්නා ඈත නොපෙනී යන තුරුද ඔහු දෙස තැතිගත් දෑසින් බලා සිටි සේන යළිත් සිය අත වූ ලිපිය දෙස නෙත් හෙලුවේය. ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී කට්ටි පනින්නටම බලා සිටි කොලු කුරුට්ටන්ට ටොකු අනිමින් ඉංග්‍රීසි හෝඩිය හෝ කියා දෙන්නට වෙහෙස ගත් මැටිල්ඩා නෝනාට පිංසිද්ධ වන්නට ඔහුට කවරයේ සටහන්ව තිබූ දෙව්මිණිගේ නමත්, රටේ නමත් යන්තමින් කියවාගන්නට හැකි විය. එම ලිපිනයද, ඔහුගේ ලිපිනයද කවරය මත පැහැදිලි කළු අකුරින් මුද්‍රණය වී තිබුණි. අලවා තිබූ මුද්දරයෙහි වූයේ දම් පැහැ මල් විශේෂයකි. ලියුම් කවරය ඔහු ලංකාවේ සිට ලිපි යැවූ කවරවලට වඩා ඝනකම් ය. කවරයේ විසිතුරු නරඹා අවසානයේ ඔහුට ලිපිය විවර කර බලන්නට සිහි විය. එතුළ වූයේ තනි කඩදාසියකි. එම ලිපියද සම්පූර්ණයෙන්ම මුද්‍රණය කොට තිබුණි. එය රාජකාරි ලිපියක්දැයි සිතෙනා තරමට එහි වූයේ මනා පිළිවෙලකි. තමා සිව් වසරක් පුරා ලියූ ලිපිවලට ඈ තනි කඩදාසියකින් පිළිතුරු ලීවේ කෙසේදැයි ඔහු පුදුමයෙන් කල්පනා කළේය. අනතුරුව මෙතෙක් වේලා අමතකව ගොස් තිබූ සිනහවක් ඔහුගේ මුව මත ඇඳී ගියේය. එසේනම් ඈ අවසන තමා හට ලිපියක් එවා ඇත. සියලු සබඳතා බිඳ වැටී ඇතැයි සිත හදාගන්නට ඔහු සූදානම්ව සිටියදී අවසන ඇයට ඔහුට ලියන්නට සිත් වී ඇත. ඔහුගේ හදවතේ නැවතත් බලාපොරොත්තු පොදි බැඳෙන්නට විය. දැන් කෙසේ හෝ මෙය කියවාගත යුතුය. ඔහු මොහොතක් ලිපිය මත දෑස් ගෙන ගියද ලියා ඇති මෙලෝ හසරක් ඔහුට වැටහුණේ නැත. ගමේ ඉංග්‍රීසි දැනුමැත්තන් අතින් ඉහළම හිඳින්නේ බංගලාවේ ලොකු හාමුය. නමුත් මෙය රැගෙන ඔහු වෙත යා නොහැකිය. ලීලා ද යම් තරමකට ඉංග්‍රීසි දන්නා නමුදු මෙය ඈ වෙතද ගෙන යා හැක්කක් නොවේ. සේනට එක්වරම සිහිපත් වූයේ නගරයේ මධ්‍ය මහා විද්‍යාලයේ තම හිතවත් ඉංග්‍රීසි ගුරුවරයාය. පාසලේ කලා කටයුත්තක් වෙනුවෙන් පෙර වතාවක සේන උදව් ලබා දුන් මොහොතේදී එම තරුණ ගුරුවරයා හා කුළුපග විය. සේන වහා පාපැදියේ නැගී ඔහු සොයා පිටත් විය. නමුත් ඔහුට අමතකව ගිය එක් කාරණාවක් තිබිණි. ඒ ලීලාගේ පොඩි අක්කා ද එම පාසලේම ගුරුවරියක බවය. 

ඔහු ඉංග්‍රීසි ගුරුතුමා සොයා ගිය අතරේදී බංගලාවේ දුරකතනය හරහා කලෙකට පසු දුරස්ථ ඇමතුමක් සම්බන්ධ වී තිබිණි. තුන් අවුරුදු උපාධිය ආරම්භයේදී ඇති වූ මානසික පීඩාකාරී තත්ත්වය හේතුවෙන් ශිෂ්‍ය කණ්ඩායමක් මගහැරීමට සිදු වුවද, සිවුවැනි වසරේදී එය සාර්ථකව නිම කරගැන්මට දෙව්මිණි සමත්ව තිබිණි. කලකට ඉහත බංගලාවේ දුරකතනය අක්‍රියව යාමෙන් පසු ඈ නැවතත් සිය නැන්දණිය හා මේ කතාබස් කළේ පළමු වතාවටය. තමා තව දුරටත් ඉහළට ඉගෙනගන්නා බවටත්, ඒ අතරේ අර්ධකාලීන රැකියාවකද නිරතවන බවටත් සිය තොරතුරු හෙළි කර සිටි දෙව්මිණි, නැන්දාම සිය හිතවතුන්ගේ තොරතුරු හෙළි කරන තුරු බලා සිටියාය. නමුත් ඈ පැවසුවේ සිරිමලී හා ඇගේ පවුලේ තොරතුරු පමණි. ඔවුනට පළමුව උපන්නේ දියණියක බව අසා සතුටක් දැනුණද ඇගේ නම කුමක්දැයි විමසා සිටින්නට ඇයට දැනුණේ බියකි. දියණියට තම නම යොදනා ලෙස කළ ඉල්ලීමද සිරිමලී නොසලකා හැර ඇත්දැයි දැනගන්නට ඇයට වුවමනා නොවුණි. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුත් ගැන නැන්දා තොරතුරු පවසනා බවක් පෙනෙන්නට නොතිබුණෙන් අවසානයේදී දෙව්මිණි ම සේන පිළිබඳ විමසා සිටියාය. ඇයට අසන්නට ලැබුණේ ඈ කිසි සේත් අසන්නට බලාපොරොත්තු නොවූ පුවතකි. සේන තමා හා තමාට වූ පොරොන්දු සියල්ල අමතක කොට ලීලා හා විවාහ වන්නට තීරණය කළේ කෙසේදැයි ඇයට අදහාගත නොහැකි විය. නමුත් ඈ හැඬුවේ නැත. කළකිරීම මුසු වූ සිතකට කඳුළු උනන්නේ නැත. එදින ඉරිතලා ගිය ඇගේ හදවත මතින් උපත ලැබූ අළු පැහැ කාන්තාරය ඉන් මතු ඇගේ මුළු ජීවිතයම වසාගත්තේය.

***

සේන යළි නිවස වෙත පැමිණියේ රැගෙන ගිය පාපැදිය ද අමතකව ය. හදවත ගිනි ඇවිලී, හිස සත්කඩකට පැලී ගිය මිනිසෙකු මහ මග ඇවිද යන්නේ කෙසේද, නගරයේ සිට නිවස දක්වා වූ මුළු දුරම ඔහු පියමං කර පැමිණියේ එලෙසිනි. ඔහු පළමුව ගියේ තොටුපොළ වෙතය. දූපතත්, ඔයත්, තොටුපොළත්, ඔරු දෙකත් දෙස විනාඩි ගණනාවක් ඔරවාගෙන සිටියද ඔහුගේ සිත වූ ආවේගය සංසිඳුනේ නැත. අතට පළමුව හසු වූ ලොකු ඔරුව ගොඩට ඇදගෙන, නිවස තුළින් රැගෙන ආ පොරොවෙන් ඔහු ඔරු බඳට පහර පිට පහර දුන්නේය. අබලන් ලී පතුරු ගොඩක් වන තරමට ඔරුව කීතු කීතු කළ ඔහු එය ද මදිව ගෙතුළ වූ ලාම්පු තෙල් බෝතලයම හලා එම ලී පතුරු ගොඩ ගිනිබත් කළේය. අනතුරුව ඔහු අනෙක් ඔරුවේ නැගී දූපත බලා ගියේ සිත නිවාගන්නා අදහසිනි. නමුත් ඇගේ මතක පිරි එම අරලියා යාය මැද ඔහු වෙනදා මෙන් නිවුණේ නැත. භාවනා කරන්නට ඔහුගේ සිත එක්තැන් වූයේ නැත. අවසන කුඩා ඔරුවට අත් වූයේද පෙර ඔරුවට අත් වූ ඉරණම ම ය. ඉංග්‍රිසි ගුරුතුමා කියවමින් සිටි අතරේම ඔහුගේ අතින් උදුරාගෙන පැමිණි ලිපිය ද ගිනිදැල්වලට හසු වූයේ එම දෙවැනි ඔරුව සමගය. 

සේන පිටව ගිය විලාසය ගැන නොසන්සුන් වූ ඉංග්‍රීසි ගුරුතුමා ඒ පිළිබඳ තොරතුරු හෙළි කළේ ලීලාගේ අක්කාටය. තම නැගණිය කරකාර බඳින්නට සිටින්නේ එක් හිතක් නැති මිනිසෙකු සමගදැයි උරණ වූ සිතින් සිය සැමියා සමග යතුරුපැදියේ නැග වෙද නිවසට ආ ඇගෙන් තොරතුරු දැනගෙන මහත් සේ තැතිගත් ලීලා, සේනගේ නිවසේ ඔහු සොයාගන්නට නොහැකි වූ තැන සොයා ගියේ ගුණදාසවය. දර ඉපල් ගොඩක් සේ අඟුරුව ගොස් තිබූ ඔරුවේ සුන්බුන් දැක කලබල වූ ගුණදාස බණ්ඩේ මාමා ද කැටුව දූව වෙත යද්දී එහි තොටුපොළ අසල අනෙක් ඔරුවද ගිනිබත් වී තිබිණි. සේන සිටියේ තියුණු පිහි පහරින් සිඳී ගිය අරලියා අතු ගොන්නක් මැද බිම හිඳගෙන හිස දෑතේ හොවාගෙන හඬා වැළපෙමිනි. තොටුපොළ අසළ රඳවා ආ බණ්ඩේ මාමාව ගුණදාස ආපසු පිටත් කර යැව්වේ සේන දූවේ හොඳින් හිඳිනා බවත් කලබල වන්නට දෙයක් නොමැති බවත් පවසමිනි. හැකිනම් රත්නෙ මාමා පැමිණි පසු ඔහුව කැටුව එන ලෙස ගුණදාස පැවසූවේ එය ද එතරම් අත්‍යවශ්‍ය නොවනා ස්වරයකිනි. 

“සේනයෝ… සේනයෝ – මොකද බං මේ…?” නැවතත් ඉක්මනින් සේන වෙත ගිය ඔහු එසේ විමසුවේ මිතුරා අසලින්ම දණ ගසා ඔහු වැළඳගනිමිනි. විරහ දුක් උසුළමින් ගෙවුණු වසර ගණන පුරා සිතෙහි ඇති සන්තාපය පිළිබඳ දොඩනා අතරේ ඉඳහිට දෑස් බොර පැහැ ගන්වාගත්තා විනා සිය මිතුරා මෙලෙසින් වැළපෙනු ගුණදාස කිසිදා දැක තිබුණේ නැත.

සේනට සිය වැළපීම නවත්වා වදන් ගලපාගන්නට තවත් බොහෝ වේලාවක් ගත විය. ඔහු කියූ ඇතැම් කාරණා ගුණදාස ඒ වනවිටත් ලීලාගෙන් අසා දැන සිටි අතර ඔහු තුළ දෙව්මිණි කෙරෙහි වූ කෝපය හා කළකිරීම තවත් සිය දහස් ගුණයකින් වැඩි විය. 

“මං හිත හදාගෙනනේ බං හිටියේ…” අවසානයේ සේන හීල්ලුවේය. “මෙච්චර කල් සද්ද නැතුව හිටියා වගේ ඉන්න තිබ්බානේ එයාට… ඇයි මෙහෙම එකක් ලියලා එවන්න ඕනෙ වුණේ…” ඔහු හිස දෑතේ හොවාගෙන සුසුම් ලෑවේය.

“හරි ඉතින් දැන් ඒ හදාගෙන හිටිය හිත එහෙමම තියාගෙන ඔය මගුල සදහටම අමතක කරලා දාලා ලීලා ගැන විතරක් හිතපං. ඔය ඒරොප්පෙ මහ රාජිණී වගේයැ ඒ කෙල්ල? උඹව අවුරුදු ගාණක් තිස්සේ අඬවාපු එකී ගැන නෙවෙයි, උඹේ මූණට ආයෙ හිනාවක් ගෙනාපු කෙල්ල ගැන විතරක් හිතපං!”

“මට බෑ ගුණේ, මට බෑ… මට මුකුත් ඕනෙ නෑ, කවුරුත් ඕනේ නෑ… මං අවුරුදු හතරක් තිස්සේ බලා හිටියේ, සතිය ගාණේ, මාසෙ ගාණේ ලියුං යැව්වේ අන්තිමට මෙහෙම එකක් අහගන්නද බං…”

“උඹට අපි ඒ කාලේ ඉඳන්ම කිව්වනේ ඔය අම්මණ්ඩි ගැන බලා ඉන්න එපා කියලා. උඹනේ කියන එකක් අහන්නෙ නැතුව ඒ මත්තෙම නැහුණේ. දැන්වත් ඕක ඉවරයි කියලා හරි හමං විදිහට හිත හදාගනිං. දැං මදෑ මෙතනට වෙලා හිටියා. මේ, අරලියා ගස්වල කිරිත් වෑස්සෙනවා ඇඟට. වරෙං යන්න ගල් ගෙට. නැගිටහං ඉතිං!” ඔහු සේනව නැගිටුවාගැනීමට තැත් කළේය. එහෙත් සේන හුන් තැනින් සෙලවුණේවත් නැත. “මේ මට උඹව හුරතල් කර කර ඉන්න හැටියක් නෑ. ගෙදර මං එනකල් ගෑනියෙකුයි ළමයෙකුයි බලං ඉන්නවා. කිව්වහම වරෙං නැගිටලා!” 

“පලයං ඉතිං මට මගෙ පාඩුවෙ ඉන්න දීලා!” සේන ද ආපිට ගුණදාසට බැණ වැදුණේය. “මං කිව්වයැ උඹට මාව හොයාගෙන එන්න කියලා. මං මෙහෙට ආවේ මගෙ පාඩුවේ ඉන්න…” ඔහු තවත් විනාඩි ගණනක් යන තුරු මිතුරාට බැණ වැදුණේය. සාමාන්‍යයෙන් ඔහුගේ මුවින් පිට නොවනා නොසරුප් වදන් ද එහි විය. ඔහු මේ පිට කරන්නේ ඔරු දෙකක් කපා කොටා ගිනි තබා, අරලියා යායම වැනසුවද සමනය නොවූ ආවේගය බව දැන සිටි ගුණදාස මුවින් නොබැණ අසා සිටියේය.

“ඉවරද?” අවසන සේන නිහඬ වූ පසු ඔහු විමසුවේය. “උඹට ඕන තරං මට බැණලා හරි, තව ගස් කපලා හරි මොන මගුලක් හරි කරලා ඔය හිත හදාගනිං. තව ටිකකින් රත්නෙ මාමත් ඒවි, එතකොටවත් ඔය පොළොවෙ හැපිල්ල නවත්තගෙන ඉඳිං ඒ මනුස්සයාට පපුවෙ අමාරුව හදවන්නෙ නැතුව! යකෝ මේ යස ලස්සනට තිබ්බ අරලිය ගස් ටිකත් වැනසුවේ මොන හිතකින්ද මං දන්නෙ නෑ!”

එහි සැඟවුණු මිහිරි රහස් පිළිබඳ ගුණදාස දන්නේ නැත. එය තව දුරටත් යකුන් නැටූ පිටියක් විනා සැමදා සිය සිත නිවූ සුන්දර කිඳුරු අරණ නොවනා බව ඔහු දන්නේ නැත. සේන නැගිට සිටියේය. ගුණදාසවද පසු කරගෙන අරලියා යායෙන් පිටමංව ගල් ලෙන වෙත ගියේය. ඒ තුළ ද රැඳි මතක කොපමණද. එහි හිඳින්නටද නොහැකිව ඔහු තොටුපොළ වෙත ගියේය. එහි ද පිරී ඇත්තේ දෙව්මිණිගේ මතක ය. සේන ගලක් මත හිඳගෙන යළිත් දෑතේ හිස හොවාගත්තේය. එවර ගුණදාස කිසිවක්ම නොකියා ඒ අසලම වාඩි වී මිතුරාගේ කරට අත දමාගෙන නිහඬව සිටියේය. 

“අන්න මාමලා එනවා,” ඔහු අවසන හඬ අවදි කළේ ඒ බව කියන්නටය. තොටුපොළට ළඟා වූ ඔරුවෙන් සේනගේ පියා ගොඩට පැමිණෙන තුරු බලා සිටි ගුණදාස ඔහුව පසෙකට කැඳවාගෙන ගොස් සිදුව ඇති සියල්ල කෙටියෙන් පවසා සිටියේය. ඉන් අනතුරුව ඔහු බණ්ඩෙ මාමා හා පිටව ගියේ ගෙදර යන්නට තිබූ හදිසියකට නොව පිය-පුතුන් හට තනිව කතාබස් කරගන්නට කරුණු කාරණා ඇති බව දැන සිටි නිසාය.

එනමුත් සේන හට පියා හා පවසන්නට තිබුණේ එකම එක් කරුණක් පමණි. “මට ගමෙන් යන්ට ඕනෙ අප්පච්චී!”

ලීලාට සිදු වන්නේ කුමක්ද, එළැඹෙනා වසරට නියමිතව ඇති මංගල්ලයට සිදු වන්නේ කුමක්ද, තමා දකින්නට බලාපොරොත්තුවෙන් සිටි මුණුපුරෙකුගේ සිහිනයට සිදු වන්නේ කුමක්ද ඒ කිසිත් රත්නපාල බාසුන්නැහේ විමසුවේ නැත. සිය පුත්‍රයා යළිත් පෙර සිටි අගාධයටත් වඩා දරුණු අඳුරු පතුළකට ඇද වැටී ඇති බව ඔහු දැනගත්තේ යාන්තම් දැලි රැවුල මෝරාගෙන එන ගැටවර වියේදී සති ගණනක් පුරා වෙහෙසී සේන සියතින්ම තැනූ හුරුබුහුටි කුඩා ඔරුව සුන්බුන්ව අඟුරු වී ගොස් තිබූ සැටි දුටු මොහොතේදීමය.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනා

Similar Posts