කින්නර අරණ – 14 කොටස

author
0 minutes, 15 seconds Read

දෙව්මිණිගේ සරසවි දිවිය වසරින් වසර ගෙවී යමින් තිබිණි. මුල් කාලයේදී සේනක හෝ අඩුම තරමින් සිරිමලී සමග හෝ සම්බන්ධතාවයක් ගොඩනගාගන්නට කොතෙකුත් උත්සාහ කළද එය සඵල නොවූ තැන එම වියෝ දුක හේතුවෙන් අධ්‍යයන කටයුතු පවා අඩාල කරගත්තද, කෙමෙන් කාලය ගෙවී යද්දී සිය සිත සන්සුන් කරගන්නට පුරුදු වූවාය. ජීවිතය එලෙසින් අයාලේ ගෙවී යන්නට ඉඩ දීමෙන් තමාටවත්, තමා ආදරය කරන්නන්ටවත් සිදු වන සෙතක් නොමැති බව ඇය කෙමෙන් අවබෝධ කරගත්තාය. දුරකතනය හරහා හඬා වැළපෙමින් නැන්දා හට සියල්ල හෙළි කර සිටියා හැරෙන්නට ඈ ඒ කිසිවක් අන් කිසිවෙකුත් සමග දෙඩුවේ නැත. ඔහුත්, ඔහු පිළිබඳ මතකත් ඈ තමා තුළම සඟවාගෙන තනිවම නිහඬව ඒ සියල්ල විඳ දරාගත්තාය. සිය උපාධිය වෙනුවෙන් සාහිත්‍ය විෂයයන් ගැඹුරින් හදාරමින් එම නිර්මාණ විශ්ලේෂණය කරන්නට උගත් ඇය ඒ හරහා ස්වයං ජීවිතාවබෝධයක් ලබාගත්තාය. සාහිත්‍යයෙන් හා කලාවෙන් මිනිසුන් සුවපත් කෙරෙන්නේ කෙසේදැයි ඇය අත්දැකීමෙන්ම උගත්තාය. ඇගේ මුව’ගට මඳ සිනහව නැවතත් එකතු විය. මිතුරු ඇසුරට ඈ යළිත් යොමු විය. කුස පිරෙන්නට කලට වේලාවට ආහාර ගන්නට සිහිපත් විය. අරමුණකට, ඉලක්කයකට වැඩ කිරීමෙන් සිය ආත්මය වසාගන්නට තැත් දරන අන්ධකාරය පලවා හරින්නට ඈ උගත්තාය. නමුත් ඒ කිසිදු මොහොතක සේනගේ රුව, ප්‍රේමවන්ත බැල්ම, ගැඹුරු කටහඬ ඇගේ සිතින් ගිලිහී ගියේ නැත. ඉඳහිට හදවත කඩා වැටෙන මොහොතක, ඔවුන් අවසන් වරට සමුගත් දින ඔහු ඈ සිපගෙන ඇගේ අනාගතය වෙනුවෙන් ගොනු කළ වදන් පෙළත්, ඇගේ මේසය මත වැජඹෙන ඔහු දුන් සිහිවටනයත් ඈ සතු එකම සවිය විය. 

***

වෙද නිවසේ බාල දියණිය සේනකට යෝජනා කරමින් වෙද මහතා රැගෙන ආ විවාහ යෝජනාව රත්නපාල බාසුන්නැහේට නිම්හිම් නොමැති ප්‍රීතියට කාරණාවක් විය. “හිච්චි දෝණිගේ කල වයසත් හරි නිසා අපි ඉතිං කපු මහත්තයාට වැඩේ බාර කොරන්ට තනද්දි කෙල්ලම තමයි කිව්වේ සේනක පුතා ගැන හිතේ තියෙන වග. ලොකු කෙල්ලෝ දෙන්නාම පිට ගම්වලට දීග දුන්නු එකේ හිච්චි එකීවවත් ගමේ රඳවගන්න ඇත්නම් කිය කියා අපේ හාමිනේත් කොච්චරවාත් කියන්නේ. සේනකගේත් ඉතිං කියන්න තරං වරදක් කාරිය නැති නිසා අපේනම් අකමැත්තක් නෑ මේ ගැන…” වෙද මහතා එලෙස පැවසූවේ නිවසටම පැමිණ බාසුන්නැහේ මුණ ගැසී ය. “මං හිතුවේ ඉලන්දාරියත් අද ගෙදර ඉඳීයි කියලයි…”

“පුතා ගියා වෙද මහත්තයෝ මාතලේ ගිහිං එන්නය කියලා. අද හෙට එන එකක් නෑ මයෙ හිතේ. එහෙ ඉන්න අපෙ අඳුරන වඩුරාළ කෙනෙක් පයිණ්ඩයක් එවලා තිවුණෙ කොල්ලාව එවන්නය කියලා, අලුත හදාපු පන්සලක ධර්මාසනයක් කැටයම් කරගන්න…”

“හ්ම්, කාරි නෑ, කාරි නෑ… මිනිහා ඉතිං ඒ වැඩවලට දස්සයානේ. මේ කාරණාව ගැන ඉතිං බාසුන්නැහේ මොකෝ කියන්නේ?”

“මටනං හැබෑම සන්තෝසයි වෙද මහත්තයෝ. කොයි තරම් ගරු නම්බුවක්ද. වෙද මහත්තයාට පිං මේ ගැන ගෙදරටම ඇවිදිං කතා කළාට…”

“අපේ දෝණිගේ හිතේ තිවුණාය කිව්වාට දෙන්නා අතර එහෙමට කිට්ටු පයිරු පාසානමක් තිබුණෙ නෑ මං දන්න හැටියට…”

“මටත් එහෙමට නිච්චියක් නෑ වෙද මහත්තයෝ. අපේ එකා ගමේ ඔය කොයි කවුරු එක්කත් එක වාගෙ නොවැ ආස්සරේ කළේ. ගමේ කෙල්ලො සේරෝම තමුන්ගෙ සහෝදරියෝ ගාණයි ඌට…”

“ඒ සහෝදරකමෙන් එහාට ඒ හිත ඇදුණෙ ඉතින් පිටගම් කාරියකටනේ…” වෙද මහතා සිනහවක් පෑවේය. “අපේ එකී ඒ වග විස්තරත් සේරෝම දන්නවා. එව්වා වෙලා දැන් බොහොම කල් ය, සේන අයියා දැන් ඒ ගැන හිතන්නෙ නෑ ය, ඔන්න ඔහොම හාමිනේ එක්කලා කියලා තිවුණේ…”

“දැන්නම් හිත හදාගෙන ඉන්නේ මයෙ හිතේ. අවුරුදු හතරක් වෙන්නත් ආවානේ. ඒ කාලේ ඒකා විඳපු දුකක්…” ගෙවී ගිය වසර කිහිපය සිහිපත් වී රත්නපාල බාසුන්නැහේ දිගු සුසුමක් හෙලුවේය.

“ඇතෙක් වාගේ හයි හත්තියට හිටපු එකා බලා ඉන්දැද්දි ඇදිලා ගියානේ, මට මතකයි… කී වංගියක්නං ලෙඩ වුණාද…”

“ඒක නෙව. වෙද මහත්තයාට පිං සිද්දවෙන්න ඒ හැම වතාවෙම කොල්ලා දවසෙන් දෙකෙන් ආයෙ නැගිට්ටා. දැන්නම් දෙයියනේ කියලා ඇඟට අල්ලන දෙයක් කාලා බීලා, වැඩක් පළක් කරගෙන ඉන්නවා…”

“මං මේ කාරණාව ගැන අහන්ට කළියෙන් බාසුන්නැහේ හොයලා බැලුවෙ නැද්ද මිනිහාට පෙළවහක් කරලා දෙන්න?”

“කී වතාවක් මං ඇහුවද. ඒකා කැමති වුණේ නෑ…”

“මේකටත් එහෙනං අකමැති වේද දන්නෙ නෑ…?”

“මං හිතන්නෙ නෑ වෙද මහත්තයාගෙ වචනේ අහක දමාවි කියලා. ලීලාත් බොහොම කරුණාවන්ත දැරිවියෙක් වෙච්චිකොට.”

“හ්ම්, පුත්තරයා ආවහම කතා කරලා අපට වචනයක් දෙන්ටකෝ එහෙමනං. කෝකටත් මට සේනකගේ කේන්දරෙත් දුන්නානං බාසුන්නැහේ…..”

***

මාතලේ බලා ගිය කටයුතු නිම කොට සේන ගෙදර පැමිණියේ පුරා සතියකට පසුවය. රාත්‍රී ආහාර වේල සප්පායම් වී සිටි පිය පුතු දෙපල නින්දට යන්නට පෙර සුපුරුදු ලෙස සිහිල් සුළඟේ සුවය විඳිමින් ඉස්තෝප්පුවේ වාඩි ගෙන සිටියහ. “උඹ තවමත් අර දැරිවිට ලියුම් යවනවාද පුතේ?” රත්නපාල බාසුන්නැහේ කතාබහට මුළපිරුවේ එලෙසිනි. ලණු ඇඳ මතට බර දී සිටි ඔහු, පිල් කණ්ඩිය මත වාඩි වී නිහඬව ඈත බලා හිඳිනා පුත්‍රයා පිළිතුරක් දෙන තුරු ඉවසීමෙන් බලා සිටියේය.

“මේ අවුරුද්දෙන් පස්සේ ඒක නතර කරන්ඩ කියලා හිතා ඉන්නේ අප්පච්චි…” සේන පිළිතුරක් දුන්නේ බොහෝ වේලාවක් ගත වීමෙන් අනතුරුවය.

“ඒ කියන්නේ මේ අවුරුද්දෙන් පස්සේ උඹ ඒ කාරණාව හිතින් අහක් කොරගන්නවය කියලද?” එම වසර ගෙවී යන්නට තවත් ඉතිරිව තිබුණේ දෙතුන් මසකි.

ලීලාගේ කීම මත ඉහ රඳවාගෙන සිටි බලාපොරොත්තුව කෙසේ වෙතත් විශ්වාසය ඔහු වෙතින් පලා යන්නට ගත්තේ දෙව්මිණි ඇගේ උපාධිය අවසන් වන බව පැවසූ තුන් අවුරුද්ද ඉක්ම ගිය පසුය. ඔහු ඇයට යන්නට හැරියේ ඈ හොඳින් ඉගෙනගත යුතු නිසා ය. ඈ උපාධියටද ඔබ්බෙන් ඉගෙනගනු දැකීම ඔහුගේ අපේක්ෂාව වූ නමුත් ඈ ඔහුට බලා හිඳින්නට කීවේ ඈ උපාධිය නිම කොට පැමිණෙන තුරුය. නමුත් ඇගේ පැමිණීම තබා ඒ වනතුරුද ඇගෙන් දුරකතන ඇමතුමක් හෝ පිළිතුරු ලිපියක් හෝ නොමැත. සිව් වසරක්ද ගෙවී යන්නට ආසන්න වුවද තවමත් ඈ නිහඬය. තව දුරටත් ඇගේ වචනය කෙරෙහි විශ්වාසය තබන්නේ කෙසේදැයි ඔහු දැන සිටියේ නැත. “ඒක එහෙම කරන්න පුළුවන් වේද කියන්න මං දන්නෙ නෑ. ඒත් ඒ මත්තෙ තවත් බලාපොරොත්තු තියං ඉඳලා වැඩක් නැතිය කියලා මට හිතෙනවා…..” 

“ඇති යාන්තං උඹට මොළේ පෑදීගෙන එනවා….. මායි ගුණදාසයයි කොයිතරං කියැව්වද ඔය ගැන… මෙච්චර කාලයක් ගිහිං හරි උඹම ඒක තේරුම් ගත්තු එක හොඳා…..”

සේන නිහඬය.

“වෙද මහත්තයා මේ අහ ආවා දැන් තුන් හතර දොහකට උඩදි…”

සේන පියා දෙස හැරී බැලුවේ ඔහු නිවසේ නොසිටි දින කිහිපයේදී පියාට ලෙඩක් දුකක්වත් සෑදුණේදැයි තැතිගැන්මෙනි. 

“උඹට ලීලාව අහන්ට…”

සේන යළි ඉදිරිය බලාගත්තේය.

“උඹේ කේන්දරෙත් අරගෙනයි ගියේ. මේ ගෙවිච්චි කාලේ වෙච්චි අබග්ග සේරෝම ඒ හැටියෙන්ම පෙන්නුම් කරලා තියනවාලු. ලබන අවුරුද්දෙ වෙසක් පෝය පහු කොරලා ආයෙ හොඳ දසාවක් ලබනවාලු, ඒත් පුතේ ඒ ගෙවිච්චි අතීතෙත් එක්කනං නෙවෙයි කියලයි කීවෙ… ඕං ඕවා හිතින් අහක් කරලා දාහං දැන් ඉතිං… උඹෙයි ලීලාගෙයි පොරොන්දම් ගැලපීමෙත් කියන්ට තරං වරදක් නැතිය කිව්වා වෙද මහත්තයා… ලබන පොසොන් මාසෙ දිහාට දෙන්නාටම කැපෙන යස නැකතක් තියනවාලු…”

සේන නැවතත් නිහඬය.

“ඇස් දෙක පියාගන්ට කළියෙන් මුණුපුරෙක්ගේ හුරතල් බලන්ට මාත් මනාපයි මයෙ පුතේ…”

සේන බුම්මාගෙන පිල් කණ්ඩිය මතින් නැගිටගත්තේය. “මොනවා දොඩනවාද මං දන්නෑ!” ඔහු උරණ වී ගෙමිදුලට බැස වඩු මඩුවේ කෙටි බිත්තියට පිට දී බිම හිඳගත්තේය. 

පියා ද නැගිට ඔහු අසලට පැමිණ ඒ අසලින්ම කෙටි බිත්තිය මත හිඳගත්තේය. “බලාපං, දැන් උඹට වයස විසි පහක් වෙන්ටත් ආවා. උඹත් එක්ක එක බඩවැල කඩාගෙන ආවා වගේ ඉන්න ගුණදාසයාත් දැන් අප්පච්චියෙක්. උඹටත් යන කලදසාවක් තියෙන්න එපායැ…”

සේන බිම ඉරි අඳිමින් නිහඬව සිටියේය.

“උඹෙ අම්මා යන්න ගිය වෙලාවේ මටත් ඒ ඇත්ති නැති ජීවිතයක් ගැන හිතාගන්න බැරිවුණා… ඒත් ඒක තමයි ජීවිතේ කියන්නේ. නිවන් දකිනකල්ම මේ සංසාරෙ පුරා අපිට එව්වට මූණදෙන්න සිද්දවෙනවා…”

“අම්මා මේ ලෝකෙන්මනේ යන්න ගියේ… ආයෙ එන්න වුවමනාවක් තිබ්බත් එන්න හැටියක් නෑනේ… මේක එහෙම නෙවෙයිනේ… මට හොයාගෙන යන්න හරි කාසි තිවුණනං මං යනවා…”

“මං දන්නවා, මට තේරෙනවා උඹේ විස්සෝපේ… ඒත් මේ අහාපංකො, ලීලා උඹ නොදන්න එකියක් නෙවෙයිනේ. බොහොම හිත කරුණාවෙන් පිරිච්චි දැරිවි. ඒකි උඹේ හිත සනීප කරාවි…..” 

“මට ඔව්වා ගැන හිතන්න බෑ අප්පච්චි… මයෙ හිතට හොඳටම තෙහෙට්ටුයි ඔය මත්තේ කල්පනා කරලාම… ඔය වෙන දෙයක් වෙන හැටියකට වෙච්චදෙන්…..”

“මං දැන් ජීවිතෙන් බාගෙකට වැඩියෙන් ගෙවලා අහකයි. ඉස්සර වාගෙ නෙවෙයි එක දිගට පුටුවක් මේසයක් හදාගන්ඩත් අමාරු තරමයි මේ වාත අමාරුවත් එක්ක… මේ අප්පච්චි උඹෙන් ඉල්ලන්නෙ මෙච්චරයි මයෙ පුතේ, උඹ හිච්චි සන්දියේ මට බලාගන්ට බැරිවෙච්ච හුරතල් බලන්ට මුණුපුරෙක් විගහිං හදා දියං මට…..” පියා ඔහුගේ හිස අතගෑවේය.

සේන නිහඬව සිය හිස පියාගේ දණහිසට බර කළේය.

“අනික වෙද මහත්තයත් ගෙදරටම ඇවිදින් මේ ගැන අහලා ගියේ උඹ ගැනත් ඒ ඇත්තෝ හොඳ හැටි දන්න හන්දා. එහෙ ලොකු හාමිනේ උඹට අකුරු උගන්නාපු ඉස්කෝලෙ නෝනා වෙච්චි… උඹ කී දවසක් ඒ ඇත්ති උයාපු බත් කාලා ඇද්ද…”

ඉන් අනතුරුව ගෙවී ගිය දිගු නිහඬතාවය කෙළවර සේන ඇසෙන නෑසෙන හඬින් හඬ අවදි කළේය. “අප්පච්චිගේ කැමැත්තක් කරන්ට…”

“මයෙ කැමැත්තක් කරන්ට කියන්නේ මයෙ කසාදයක් ගැනයැ මේ කතා කොරන්නේ? උඹේ කැමැත්ත අකමැත්ත කියහං…”

“ලීලා ගැන මයෙ අකමැත්තක් නෑ…”

‘අකමැත්තක් නොමැති’ බවත්, ‘කැමති’ බවත් අතර වෙනසක් ඇති බව දන්නා නමුදු පුතුගේ එම ප්‍රතිචාරය රණතුංග බාසුන්නැහේට මහා සැනසීමක් ගෙන ආවේය.

***

“ඒකයැ අපේ මහත්තයා…” ආලින්දයේ හිඳ සිටි සිය සැමියා සොයා ආ ජයසුන්දර මැණිකේගේ මුහුණේ කලකට පසු සැහැල්ලු සිනහවක් ඇඳී තිබිණි. 

ජයසුන්දර හාමු කියවමින් සිටි පුවත්පත පහත් කොට උපැස් යුවළ මතින් ඈ දෙස බැලුවේය. “අද මොකදෑ මේ කාලෙකට පස්සේ හඳ පායලා වාගේ?”

ඇය පැමිණ ඔහු අසලින්ම වූ අනෙක් අසුනට බර දුන්නාය. “හිතේ තිවුණු ලොකූ බරක් හෑල්ලු වුණා වාගේ දැනෙන ආරංචියක් ලැබුණා නෙව…”

“ඒ මක්කද?”

“සේනක දරුවාට වෙද ගෙදර බාල කෙලීව කතා කරලා. ඕන්න ලබන අවුරුද්දෙ පොසොන් මහට මංගල්ලෙත් තීන්දු වෙලා…..”

“හැබෑට?” ජයසුන්දර හාමුගේ මුහුණේද මහත් සැහැල්ලුවක් ඇඳී ගියේය. “කොල්ලා හිත හදාගෙන එහෙමනං!”

“එහෙම වෙන්ටැති. අපේ මහත්තයා කිව්වා හරි. ඇහැට දකින්න නැතුව, කතාබහක් ලියමනක් මොකවත් නැතුව කාලයක් ගත වෙද්දි ඔය හිරිමල් වයසට දැනෙන එව්වා හිතින් අහකට තල්ලු වෙලා යනවා. අපෙ දෝණිත් ඒ හැටියටම හිත හදාගෙනනං එච්චරයි ඉතින්…”

“දැන් ඉතින් ටෙලිෆෝන් ගලවන්නයි, සද්දේ නිවා දාලා තියන්නයි, ඔය මොකවත් කරන්න ඕනෙ නෑ එහෙමනං, දෙයියනේ කියලා ඒකට පාඩුවේ ඉන්න තියත හැකි…”

“ඒක හැබෑව…” ජයසුන්දර මැණිකේ සිනහවක් පෑවාය. 

“පොසොන් මාසෙ තරං ඈතකට මොකද දන්නෙ නෑ ඕක පහු කරලා තියෙන්නේ… තව අවුරුද්දකට කිට්ටු වෙන්න තියනවනේ…”

“රන් එතනා කිව්වෙනං එයිට කළියෙන් දෙන්නාට කැපෙන නැකතක් නැති වග තමයි. තවම ගමේ වැඩි දෙනෙක් දන්නෙ නෑ, ගුණදාස හන්දා තමයි ඔය රන් එතනාත් දැනගෙන තියෙන්නේ…”

“හ්ම්ම්… කොහොමද එහෙ පොඩි එකී දැන්? මැණිකේ බලන්න ගියා නෙව?”

“ගියා ගියා…” ජයසුන්දර මැණිකේගේ මුහුණේ ඇඳී ගියේ සිරියාවන්ත සිනහවකි. “සීදේවි කෙලි පැටික්කි. සිරිමලී වගේමයි. අප්පොච්චිගෙ වාගේ බොකුටු කොණ්ඩේ. බෝනික්කියෙක් වාගේ… ඔන්න යස නමකුත් තියලා තිබ්බෙ – මොකද්ද මට මතකත් නෑ….. අපේ දෝණිලු කිව්වෙ කෙලි පැටික්කියෙක් ලැබුණොත් ඒ නම දාන්න කියලා….. සිරිමලී මට රහසෙන් කීවෙ ඒ වග. ගුණදාස දන්නවානං ඒක දෝණි කියාපු නමක් වග, මෙතන යකා නටයිලු.”

“ඒ කෙල්ල නිරපරාදේ වැරදි කාරියක් වෙලා දොස් අහනවා අම්මා අප්පච්චිගේ මහන්තත්තකම් හින්දා…”

“ඒ ගැනනම් මටත් හිතට බොහොම අමාරුයි. දැන් ඉතින් ඕවා එහෙමම යට ගියාවේ… සේනක වාගේ අපේ දෝණිත් හිත හදාගෙනනම් එච්චරයි…” 

නමුත් එලෙසින් සියල්ල යට යන්නට නොදී හදිසියේ දිනෙක සේන අතට ලිපියක් ලැබිණි.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනා

Similar Posts