පංච කර්ම චිකිත්සාව – 03 කොටස

author
0 minutes, 35 seconds Read

නස්‍ය කර්මය

ආයුර්වේද වෛද්‍ය කර්මය තුළ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ද නස්‍ය ක්‍රමය පිළිබඳ දැක්වෙන අතර දේශීය විෂ වෙදකම, ඇස් වෙදකම හා උමතු රෝග වෙදකමේ දී ප්‍රතිකාර වශයෙන් මෙය භාවිතා කර ඇත.

පංචකර්ම වලින් එකක් වන නස්‍ය කර්මය යනුවෙන් හඳුන්වන්නේ ඖෂධයක් නාසයට ඇතුල් කිරීමෙන් සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයයි. දසරුවෙන් ඉහළ (above the clavicle bone) ඇති වන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ක්‍රමය භාවිතා කරනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ නාසය යනු මොළයේ ද්වාරය ලෙස සලකනු ලබයි. නස්‍ය වර්ග කිහිපයක්ම දක්වා ඇති අතර ඒ ඒ රෝගියාට සුදුසු පරිදි අදාළ නස්‍ය යෙදිය යුතුය. බිංදු මාත්‍රාවෙන් යෙදිය හැකි ප්‍රතිමර්ෂ නස්‍ය ක්‍රමය නීරෝගී තැනැත්තකුට නීරෝගීබව පවත්වාගෙන යාම සඳහා දිනපතා භාවිතා කළ හැකිය. නස්‍ය ඖෂධ ලෙස තෙල්, ඖෂධ යුෂ, කෂාය හා චූර්ණ (powder) භාවිතා කරයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නාසයට ඇතුල් කරන ඖෂධ ක්ෂුද්‍ර නාලිකා හරහා ගමන් කර ‘ශෘංගාටක මර්මය’ යන ප්‍රධාන ස්ථානයට පැමිණ හිස, ඇස්, කන්, උගුර ආදී සෑම තැනකම පැතිර යන බවත් එමඟින් හිසේ හා ගෙලෙහි ඇති දෝෂ ඉවත්කර රෝග සුව වන බවට සැළකෙයි. නවීන වෛද්‍ය විද්‍යාත්මකව නස්‍ය කර්මය මධ්‍යම ස්නායු පද්ධතියට බලපෑමක් ඇති කරන බව MODE OF ACTION OF NASYA – A CRITICAL STUDY, 2023 පර්‍යේෂණ පත්‍රිකාවෙහි දක්වා ඇත.

පීනස, ප්‍රතිශ්‍යාව, කටහඬ සම්බන්ධ රෝග, අපස්මාර, උන්මාද රෝග, කුෂ්ට, හිසරදය, නේත්‍ර රෝග, උගුර ආශ්‍රිත රෝග/ ඉදිමුම්, නින්ද සම්බන්ධ රෝග, හිසකෙස් ආශ්‍රිත රෝග ආදියට මෙම ප්‍රතිකාරය සුදුසු වේ. නූතන පරීක්ෂණයන්ට අනුව ඉතා පුළුල් පරාසයක රෝග සුවපත් කිරිමට නස්‍ය කර්මය යෙදිය හැකි බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. A randomized controlled clinical trial to assess the efficacy of Nasya in reducing the signs and symptoms of cervical spondylosis, 2012 පර්‍යේෂණය අනුව සර්වයිකල් ස්පොන්ජිලෝසිස් නමින් හැඳින්වෙන බෙල්ල ආශ්‍රිත කශේරුකා වල පිහිටීම වෙනස් වීමෙන් ඇති වන තත්වයන් සඳහා සිදු කරන ප්‍රතිකාරවලියේදී නස්‍ය කර්මය යෝග්‍ය බව දක්වා ඇත.

Role of Nasya Karma (Nasal Instillation Therapy) in Apabahuka (Frozen Shoulder)– A qualitative systematic review, 2021, පර්‍යේෂණයේදී උරහිස් ආශ්‍රිතව තද වීම් නිසා ඇති වන ෆ්‍රෝසන් ශෝල්ඩර් රෝගය සඳහාද නස්‍ය කර්මය යෝග්‍ය බව සඳහන් කරයි. Nasya Karma in Visha Chikitsaa: An emergency drug-delivery system, 2019 පර්‍යේෂණය මඟින් විෂ ශරීරගත වීමක දී ඊට ප්‍රතිකාර වශයෙන් නස්‍ය කර්මය යෝග්‍ය බව තහවුරු කර් ඇත.

නස්‍ය කර්මය සඳහා ද සුදුසු හා නුසුදුසු තැනැත්තන් ආයුර්වේද මූලධර්මයන්හි දක්වා ඇති අතර ඒ අනුව වෛද්‍ය උපදෙස් හා නිරීක්ෂණය යටතේ සුදුසු තැනැත්තන් හට පමණක් එය යෙදීම කළ යුතු වේ. මෙහිදී රෝගියාගේ වයස, ශරීර බලය, රෝගී තත්වය, නස්‍ය සඳහා භාවිතා කරන ඖෂධය, කාලය හා නස්‍ය කර්මය කරන අවස්ථාවේ රෝගියා සිටින ඉරියව්ව පවා වැදගත් වේ.

පසුගිය කොටස –

උපදෙස් –
වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts