ජපානයේ නූතන කලා සෞන්දර්ය හා මෘදු බලය

author
0 minutes, 14 seconds Read

පසුගිය මාසයේ ජපානයේ ප්‍රසිද්ධ කලා කරුවෝ දෙදෙනෙක් අභාවප්‍රාප්ත වුණා.  ඒ දෙදෙනා ගැන කරන කෙටි සටහනකින් මේ ලිපිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

අවුරුදු හතළිහකට වැඩි කාලයක් ජපානයේ චිත්‍රකතා කතුවරයෙකු ලෙස සේවය කළ තොරියමා අකිරා මහතා අවුරුදු 68ක් ආයු වළඳා පසුගිය මාර්තු 1 වැනිදා අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ Dragon Ball කතාව Shonen Jump නමැති චිත්‍රකතා සඟරාවේ සතිපතා පළ වුණා. මේ කතාව ඇනිමෙ චිත්‍රපටිවලටත් (animation movies), ගේම්වලටත් අනුවර්තනය කරල තියෙනවා. ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනාදරයට ලක් වූ කලාකරුවෙක්. ඔහු මිය ගිය අවස්ථාවේ ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් X හෙවත් Twitter හරහා ශෝක පණිවිඩයක් නිකුත් කළේ Dragon Ball චරිත ඇතුළත් ඡායාරූපත් සමගයි.

ඒ අතර තවත් මරණයක් සිදු විය. ජපානයේ ඉතා ජනප්‍රිය චිබි මාරුකොචං  Chibi Maruko Chan නමැති රුපවාහිනී ඇනිමෙ චිත්‍රපටි පෙළේ ප්‍රධාන චරිතය වන මරුකොචංගේ කටහඬ රඟපෑ තරකො ද මාර්තු 4 වැනිදා  63 හැවිරිදි වියේදී මිය ගියාය. 1990 දී ආරම්භ වූ මේ ඇනිමේ කතා පෙළ හාස්‍යජනක පවුලේ කතාවක් ලෙස ජනාදරය දිනා ගෙන රුපවාහිනියේ ‘ජාතික’ වැඩසටහනක් බවට පත්වී තිබුණි. මුල සිට අවුරුදු 30 ක් පුරා මාරුකො චං නමැති ප්‍රාථමික පාඨශාලා ශිෂ්‍යාවගේ කටහඬ රඟපෑවේ ඇයයි.  “චිබි මාරුකො චං” හැරෙන්නට තවත් බොහෝ චිත්‍රපටිවල ද කටහඬ නිළියක් ලෙස ඇය රඟපා තිබුණි. ශුභවාදී හැඟීම් දනවන අයුරින් කටහඬ රඟ පෑ ඇය වයස, ලිංග භේදයක් නැතිව ජපන් ජාතිකයන්ට දිරිය දෙන දැරියක් / දිරිය මවක් වුවාය.

මෙවර ඔස්කා චිත්‍රපටි උළෙලේ දී අධ්‍යක්ෂක මියසකි හයාඕ ගේ  The Boy and the Heron (‘ළමයා සහ කොකා’) චිත්‍රපටිය හොඳම ඇනිමේ චිත්‍රපටිය ලෙස Academy Award දිනා ගත්තා. මේ චිත්‍රපටියේ ජපන් නම හාත්පසින්ම වෙනස් විදියේ එකක්. එනම් ‘කිමිතචි වා දෝ ඉකිරු ක?’ (‘නුඹලා ජීවත් විය යුත්තේ කෙසේද?’) යන්නයි. ජපන් නමෙන් පැහැදිලි වෙන පරිදි, මෙය එක්තරා විදියක දාර්ශනික චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය යුද්ධ කාලයේ ජපානය පසුබිම් කර ගත් අපුර්ව සිහිනජනක, නිර්භීතක්‍රියා සහගත කතාවක්. මියසකි හයාඕ මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සඳහා අවුරුදු හතක කාලයක් ගෙන තිබුණි. චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට දැමූ අවස්ථාවේ එය කවර විදියේ කතාවක් ද යන්න ගැන කිසිම තොරතුරක් එළියට දමා තිබුණේ නැතත්, යෙන් බිලියන 8.8 ක අදායමක් ලබා දුන් box office නිර්මාණයක් ලෙස වාර්තා තැබුවා. යථාර්ථවාදී ලෙස පෙනෙන 3D ඇනිමෙ ශිල්පය ප්‍රධාන මාධ්‍යය වී ඇති යුගයක අතින් ඇන්ද 2D චිත්‍ර හා නිර්මාණාත්මක විකාසනය මේ චිත්‍රපටියේ  විශේෂත්වයට හේතු වුණා.

තවද, යමසකි තකෂි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගොජිල්ලා මයිනස් වන්’ (‘Godzilla Minus One’) චිත්‍රපටිය හොඳම දෘෂ්‍ය රංග ප්‍රයෝග යොදා ගත් නිර්මාණය ලෙස  තෑගි ලැබුවා. වර්තමාන යුද්ධ හා පරමාණු අර්බුද යුගයට ගැලපෙන චිත්‍රපටියක් ලෙස එය ප්‍රේක්ෂක අවධානය දිනා ගෙන තිබුණා. ගොජිල්ලා යනු ගොරිල්ලා යන නම බිඳ පෙරළමින් නිර්මාණය වූ අළුත් සංඥා නාමයක්. ගොජිල්ලා උපත ලැබුවේ ජලකර බෝම්බ පර්යේෂණවලට දැක්වූ ප්‍රතික්‍රියාවක් හැටියටයි. අධ්‍යක්ෂක යමසකි තෑගි පිරිනැමීමේ උත්සව දිනයේ පැවත්වූ මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී කියා සිටියේ “මෙය යුද්ධය හා න්‍යෂ්ටික ආයුධවල සංකේතයක් වන ගොජිල්ලා මරා දැමීමේ උත්සාහයක් නොව, ගොජිල්ලා සංසිඳුවන විදියේ කතාවක්” කියායි. ලෝකයට අද යුද්ධය හා න්‍යෂ්ටික අවිවලට තිතක් තියන්නට අවශ්‍ය වී ඇත යන කාරණය චිත්‍රපටියේ සාර්ථකත්වයට හේතු වූ බව ද ඔහු සඳහන් කළා.

චිත්‍රපට මාධ්‍යවේදිනියක වන සරුවතාරි යුකි මහත්මිය මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායම කුඩා කාර්යමණ්ඩලයක් වීම හා පුංචි බජට් එකකින් හොලිවුඩ් චිත්‍රපටයකට සමාන්තරව යන උසස් ගණයේ චිත්‍රපටියක් නිමා කර තිබීම අතිමහත් ජයග්‍රහණයක් යයි පැවසුවාය. විශාල මුදලක් වැය කර නිපදවන චිත්‍රපටියකට සමාන්තරව දෘශ්‍යමය ප්‍රකාශනය අතින් තාක්ෂණික විශිෂ්ටත්වයක් හිමි කර ගෙන තිබීම බොහෝ විචාරකයන්ගේ පැසසුමට ලක් වී තිබේ. (ගිය වියදම කීයක් වුණාදැයි ප්‍රකාශයට පත් කර නැතත්, එය සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටියකට යන වියදමින් දහයෙන් එකක පමණ මුදලක් යයි කියනු ලැබේ) ලෝකය පුරා විකිණුණු මේ චිත්‍රපටියේ ප්‍රවේශපත්‍ර ආදායම යෙන් බිලියන 16 ඉක්මවා ගිය බව වාර්තා වී ඇත.

මේ චිත්‍රපටි දෙකම සෞන්දර්යමත් හා යථාර්ථවත් දෘශ්‍යමය ප්‍රකාශන ශක්තිය අතින් ඉහළ තලයක තිබෙන බව විචාරකයෝ පිළිගත්තා. නමුත් චිත්‍රපටි දෙක අතර ලොකු වෙනසකුත් තියෙනවා. ගොජිල්ලා චිත්‍රපටිය නවීනතම කොම්ප්යුටර් ග්‍රැෆික් තාක්ෂණය උපයෝගී කර ගත් අතර, ‘ළමයා සහ කොකා ‘ යොදා ගත්තේ සම්ප්‍රදායිකව  අතින් ඇඳීමේ ශිල්පක්‍රමයි. මේ තාක්ෂණ විධි දෙකම ජපන් සිනමාව නියෝජනය කරන විශිෂ්ට ලක්ෂණ වේ. 

හොලිවුඩ් චිත්‍රපටි මෙන් විශාල මුදල් කන්දරාවක් වැය නොකළාට ජන හදවත් හඳුනා ගැනීමේ ශක්තිය, නිර්මාණ ශක්තිය හා නිපුණතා තිබේ නම් ලෝකයටම හෙවත් පොදු මානව සමාජයටම පණිවුඩ ලබා දෙන කලා කෘති බිහි කළ හැකි බව මේ ජපන් කලාකරුවෝ පෙන්වා දෙනවා. මෙය අපට ජපන් සමාජයෙන් ගත හැකි ආදර්ශයක්.

විශ්ව විද්‍යාලයේ උගන්වන විට විදේශ ශිෂ්‍යයන් සමඟ කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ජපන් භාෂාව හෝ ජපන් සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් – ආසාවක් ඇති වූයේ කෙසේදැයි ඔවුන්ගෙන් විමසූ විට, ඒ ඇලීම හා බැඳීම ඇතිවූයේ ජපන් මංගා (චිත්‍රකතා) සහ ඇනිමේ (animation movies) තුළින් යයි කියන විදේශ ශිෂ්‍යයෝ බොහෝ ඉන්නවා.

එබඳු කලාකෘති විදේශිකයන්ගේ සිත්සතන් ඇඳ බැඳ ගැනීමට සමත් වී ඇති බවත්, ඔවුන්ගේ ජීවිත මඟ වෙනස්කිරීමට පවා ඒවා බලපා ඇති බවත්, ඒ රටවල් හා ජපානය අතර සුහද සම්බන්ධතා වර්ධනය වීමට මේ සංස්කෘතික සබැඳියාව විශාල බලපෑමක් කර ඇති බවත් මෙයින් පැහැදිලි වෙනවා.  

රටකට ඇති මේ ශක්තියට මෘදු බලය (Soft Power) යයි කියනවා. ජපානය යනු යුද්ධ බලය හෙවත් හැඩි-දැඩි බලය නැතත්, ලෝකයේ අග්‍ර ගණයේ මෘදු බලය විදහා පාන රටක්. ලෝකය ඇඳ බැඳ තබා ගත හැකි, ලෝකයට වැළඳ ගන්න හිතෙන මෘදු බලය ලංකාවේ නැද්ද? අපට ඒ හැකියාව හා බලය නැතුව නොවෙයි. ලෝක වේදිකාවේ, ජාත්‍යන්තර රිදී තිරයේ හා අන්තර්ජාලයේ රඟ පාන්නට පුළුවන් විදියට කලාකරුවන් හා තරුණයන් පුරුදු-පුහුණු කරන විධිමත් වැඩ පිළිවෙළක් හෝ අධ්‍යාපනය ක්‍රමයක් අපට නැහැ.  

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල්

Similar Posts