ලියන්න හිතුවෙ කෙටි චිත්‍රපටියක්, නමුත් ලිව්වෙ විද්‍යා ප්‍රබන්ධයක්

author
0 minutes, 16 seconds Read

අමාලි අනූපමා මල්ලවආරච්චි වෘත්තියෙන් කථන පරිවර්තකයෙකු වන අතර, දීර්ඝ කාලයක් මුළුල්ලේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කර ඇත. ඇගේ පළමු කෙටිකතා සංග්‍රහය වන ‘දං පඳුරට ආ රැහැයියා’ 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස සම සම්මානයට පාත්‍ර වුණ අතර ඒ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා ද නිර්දේශිත විය. ඇගේ දෙවැනි කෘතිය ‘කාලාන්තරාව’ විද්‍යා ප්‍රබන්ධයයි. එය ද ගොඩගේ අත්පිටපත් තරගයේ ඇගයීම් ලද කෘතියකි. ඊට සමගාමීව ප්‍රකාශිත වූ Graveyard of my back garden ඇගේ පළමු ඉංග්‍රීසි කවි එකතුවයි. මේ කෙටි සංවාදය ඇගේ අලුත් කෘතිය වන කාලාන්තරාවෙන් පටන්ගෙන අනෙකුත් ඉසව් හරහා ද ගලා යන්නකි.

කාලාන්තරාව ඔබ ලියපු පළවෙනි විද්‍යා ප්‍රබන්ධය. විද්‍යා ප්‍රබන්ධ කියවන්න පාඨකයො උනන්දුයි කියලා ඔබ හිතනවද?

ඔව්, මම හිතනවා වයස් බේදයකින් තොරව විද්‍යා ප්‍රබන්ධ කියවන්න ඉතාම උනන්දු පාඨක පිරිසක් අපට ඉන්නවා කියලා. ඒ වගේම ඉතාම දක්ෂ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයින් පිරිසකුත් බිහිවෙමින් පවතිනවා. අපේ විද්‍යා ප්‍රබන්ධ පාඨකයින්ට තියෙන්නේ නිකම්ම උනන්දුවක් නෙවෙයි, එයාලා එක්තරා විදිහක විශේෂීකරණයකුත් වෙලා තියෙනවා. එයාලා විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍ය පිළිබඳ හැදෑරීමක් කරන්නත් පෙළඹිලා තියෙනවා. එයාලා ලංකාවේ පළවෙන විද්‍යා ප්‍රබන්ධ ගැන හොයනවා, කතා කරනවා, රසාස්වාදය කරනවා වගේම අනෙක් විද්‍යා ප්‍රබන්ධ ලෝලීන්ව ඒ පොත් ගැන දැනුම්වත් කරනවා. මේක මම හිතනවා ඉතාම ධනාත්මක ප්‍රවණතාවක්. මේ ප්‍රවණතාව නිසා මම හිතනවා අපේ සිංහල සාහිත්‍යට බද්ධව අලුත්, ස්ථාවර ෂානරයක අඩිතාලම වැටෙනවා කියලා.

‘කාලාන්තරාව’ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය කරලයි මුද්‍රණය වෙන්නෙ. ඒ ගැන දැනෙන්නෙ මොන විදිහෙ හැඟීමක්ද?

මේ පිටපත 2022 ගොඩගේ අත්පිටපත් තරගයේ විද්‍යා ප්‍රබන්ධ අංශයෙන් කෙටි ලැයිස්තුගත වෙල තමයි මුද්‍රණය සිද්ධ වෙන්නෙ. මුලින්ම මම ස්තූතිවන්ත වෙනවා හැමදාමත් නවක ලේඛකයින්ට ගරුකටයුතු ලෙස නිසි අවධානය සහ ශක්තිය ලබාදෙන ඇස්. ගොඩගේ මහතාටත්, මේ තරගයේ සංවිධාන වගකීම සහ මඟපෙන්වීමේ වගකීම දේවකාරියක් වගේ දරන ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ මහතයාටත් ගොඩගේ අත්පිටපත් තරගයට නව තරගකාරී අංශයක් විදිහට විද්‍යා ප්‍රබන්ධ අංශය එකතු කිරීම පිළිබඳව. ලංකාවේ ජේෂ්ඨතම වගේම ප්‍රධාන ධාරාවේ ප්‍රකාශකයෙක් ලෙස ගොඩගේ ප්‍රකාශන ආයතනය විද්‍යා ප්‍රබන්ධ අංශයට මේ ලබාදීලා තියෙන්න විශේෂ අවධානයක්. ඒ වගේම ආධුනික ලියන්නෙක් විදිහට ස්ථාවර වෙන්න, සාධාරණ වටිනාකමක් ලබන්න ගොඩගේ අත්පිටපත් තරගය ඉතාම ශක්තිමත් පදනමක්, මගඟු අවස්ථාවක් ලබා දෙනවා. මටත් ඒ අවස්ථාව ලැබීම පිළිබඳව ලොකු සතුටක් තිබෙනවා. ප්‍රකාශකයො පස්සෙ ගිහින්, පොරොත්තු ලේඛනවල රස්තියාදුවෙලා, එහෙමත් නැත්නම් තමන්ගෙ අතින් වියදම් දරාගෙන, සමහර විටෙක නොයෙකුත් කෙනෙහිලිකම්වලට, රැවටීම්වලට පවා ලක්වෙලා පොතක් පළ කරගැනීම ආධුනික ලේඛකයෙකුට තිත්ත වෙන වටපිටාවක, හොඳ තරගයක් දීලා, සාධාරණ විනිශ්චයක් එක්ක, වටිනාකමක් එක්ක අත්පිටපතක් මුද්‍රණය කරගන්න ලැබෙන අවස්ථාව, මගේ පෞද්ගලික මතයේ හැටියට නම්, මිලකින් අගය නියම කරන්න බැරි අවස්ථාවක්.

ඔබ කිව්වා මේ ‘කාලාන්තරාව’ ලිව්වෙ කොරෝනා කාලෙ ගෙදර ඉන්නකොට කියලා. ඒ වගේ දුෂ්කර වගේම පීඩා සහිත කාලෙක ලියන එක ගැන මොකක්ද කියන්න තියෙන්නෙ?

ඇත්තටම කාලාන්තරාව ලියවෙන්නෙ පැන්ඩෙමික ආවේශයකින්. ඒක ලියවෙන්න පටන්ගන්නෙ ලාංකික-දිස්තෝපීය රංගතල පසුබිමක් පාදක කරගන්න කෙටිකතාවක් විදිහට. මේ කතාවට මූලික වස්තු බීජය මගෙ හිතට එන්නෙ පැන්ඩෙමික් කාලයට කලින්, සයිෆයි කෙටි චිත්‍රපටයක් සඳහා. නමුත් පැන්ඩෙමික් සමය මගේ මේ ලිවීමට දරුණු ලෙස බලපෑමක් කරනවා. සරලවම කතාව කණපිට හරවනවා. කතාවේ තානයට, හැඩයට, චරිතවලට වගේ හැම ඉසව්වකටම ඒ බලපෑම එල්ල වෙන්නෙ ඉන්දියාවේ මුම්බායි නගරය ගිලගන්න කළු,දුම් වළාව වගේ. ලොක්ඩවුන් එක නිසා සීමා කෙරුණු සංචරණය, කොරෝනා මරණ සංඛ්‍යා වාර්තාවන්, මානසික පීඩන, නෂ්ටාපේක්ෂාවන් ආදී සියලු ඛේදසහගත අත්දැකීම් කාලාන්තරාවේ ගලායාමට දැඩිව බලපානවා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි කෙටිකතාවක ඉඳන් සයිෆයි නොවෙලාවක් ප්‍රමාණයට මේ කතාන්තරය ගොඩනැගෙන්නෙ.

කාලාන්තරාව කියන්නෙ ඇත්තටම විද්‍යා ප්‍රබන්ධයක්ද? මේකෙ අනාවැකි වගේ ඒවත් තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න බැරිද?

ඔව්, කාලාන්තරාව කියන්නෙ විද්‍යා ප්‍රබන්ධයක්. මගේ අදහසට අනුව නම් කාලාන්තරාව දිස්තෝපීය-විද්‍යා ප්‍රබන්ධයක් (Dystopian- Sci fi). ඒ වගේම මේක ඇතුලේ Hard sci fi ලක්ෂණවලට වඩා Soft sci fi ලක්ෂණ අඩංගුයි. සාමාන්‍යයෙන් මම ලිවීමක් මේ ශානරයේය, මේ කැටගරියේය කියල වෙන් කිරීමට අකමැතියි. මොකද ලිවීමක් ඇතුලේ විවිධ ශානර ලක්ෂණ ඇතුලත් වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ගත්තොත් මගේ පළමු කෙටිකතා සංග්‍රහය “දං පඳුරට ආ රැහැයියා” ඇතුලේ සාහිත්‍යමය ප්‍රබන්ධ (Literary Fiction) ලක්ෂණ වගේම මායා යථාර්ථවාදී (Magical realism) ලක්ෂණත් තිබෙනවා. කාලාන්තරාව ලියන්න පටන් ගන්නකොට මනසේ මැවුණු සිද්ධි, චරිත, ස්ථාන ගැන ලියන්න උනන්දුවක් මිසක් මට තෝරාගන්නා ලද ශානරයක පොතක් ලියන්න ඕනෙයි කියලා වුවමනාවක් හෝ ආශාවක් තිබ්බෙ නැහැ. ඒ කෙසේ වෙතත් කාලාන්තරාව ගත්තොත් එහි කතාවට පසුබිම් වෙන්නෙ දිස්තෝපීය පසුතලයක්. දිස්තෝපීය පසුතලයක් තුළ මිනිස්සු අහිමි වීම්, පීඩාවන් එහෙම නැත්නම් භීෂණකාරී අත්දැකීම් ලබන තත්ත්වයක් හෝ සමාජයක් තමයි නිර්මාණය වෙන්නෙ. ඒ වගේම තමයි දිස්තෝපීය ප්‍රබන්ධ ගත්තොත් ඒවා සාමාන්‍යයෙන් දුර අනාගතයට වඩා නුදුරු අනාගතයේ තමයි පිහිටුවා තියෙන්නෙ. ඒ වගේම දිස්තෝපීය ප්‍රබන්ධ බොහෝ වෙලාවට යත්න දරන්නේ වත්මන් අකටයුතුකම් හෝ සිදු නොවිය යුතු යම් විනාශකාරී, පීඩාකාරී දෑ පිළිබඳ පාඨකයාගේ අවධානය යොමු කිරීම සහ ඔවුන් තුළ ඒ පිළිබඳ යම් උනන්දුවක්/විරෝධයක් නිර්මාණය කිරීමයි. ඒ වගේම තමයි ලියන්නෙක් විදිහට මම හැම වෙලාවෙම නිර්මාණයක් ඇතුලේ මනුෂ්‍ය සොභාවය ( Human-element) එක අල්ලන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් අපි Hard sci fi ගත්තොත් ඒවා මූලික කරගන්නෙ අත්‍යන්තයෙන්ම විද්‍යාව කියන විෂය, නමුත් බොහෝ වෙලාවට Soft sci fi අරමුණු කරගන්නේ එම විද්‍යාවේ හෝ තාක්‍ෂණයේ සමාජීය ප්‍රතීයමානයන් (Social implications ) සහ ඒවා මිනිසුන්ට බලපාන ආකාරය සියුම්ව නිරීක්ෂණය කර ප්‍රබන්ධාත්මක ස්වරූපයෙන්, නැත්නම් ඔබ ඔය අහන ‘අනාවැකි කියන’ ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමයි. ඇත්තටම කිව්වොත් Soft sci fi 19 ශතවර්ෂයේ ඉඳන්ම ලියැවෙනවා. මේ හැම වර්ගයකම විද්‍යා ප්‍රබන්ධ, අනාගතවාදී ප්‍රබන්ධ, what-if ප්‍රබන්ධ ආදී එකීමෙකීනොකී ලිවීම් බහුතරය Spec fiction/S-F හෙවත් Speculative Fiction කියන සුපර්-ශානරයට අයත් ලිවීම්. මම පෞද්ගලිකව කැමතිම නිර්මාණයක් තමයි (විවාදත්මක වුණත්), ලෝකයේ ජනප්‍රියම Soft sci fi නිර්මාණයක් ලෙස සැලකෙන ජුරාසික් පාර්ක් ප්‍රබන්ධය සහ චිත්‍රපටය. ලෝකයේ මුලින්ම ලියවුණු විද්‍යා ප්‍රබන්ධය කියලා සැලකෙන මේරි ශෙලීගේ ෆ්‍රැන්ක්න්ස්ටයින් කෘතියත් අයත් වෙන්නේ Soft science fiction කියන උප ශානරයටම තමයි.

ඔබේ සාහිත්‍ය ජීවිතේ ගැන තෘප්තිමත් වෙනවද?

සාහිත්‍ය කියන්නෙ මගෙ ජීවිතයට බද්ධ වුණු කොටසක්. ඒක විනෝදාංශයක සිට අධ්‍යාපනය ලැබීම සහ ලේඛකයෙකු වීම දක්වා පැතිර යන්නක්. ලිවීම සම්බන්ධයෙන් මම තෘප්තිමත් වන අවස්ථා දෙකක් තිබෙනවා. එකක් තමයි වචන සමඟ එක්ව ගමන් යමින්, සරඹ කරමින්, නර්තනයේ යෙදෙමින්, මන්ත්‍ර සේ ජප කරමින් ලිවීම යන අභ්‍යාසය තුලින් මම ලබන සංතර්පණය. ඒක බොහොම පෞද්ගලික කාරණාවක්, විඳීමක්. අනෙක කාරණාව තමයි මගේ පාඨකයින් කෙතරම් මගේ ලිවීම්වලින් ආස්වාදයක් ලබනවා ද යන්න දැන ගන්න එක. මම ජනප්‍රිය හෝ වාණිජමය ලේඛකයෙක් නොවෙන්න පුළුවන්, නමුත් මගේ වර්ගයේ ලිවීම් රසවිඳින පාඨක පිරිසගෙන් මට නොමඳව ඒ අවශ්‍ය ආදරය සහ අභිප්‍රේරණය ලැබෙනවා. ඒ කාරණා දෙකම ගත්තාම මම මගේ ලිවිසැරිය පිළිබඳ හරිම තෘප්තිමත්.

ඔබේ ඊළඟ නිර්මාණය මොකක් වේවිද?

ඒ ගැන මට ලොකු අදහසක් නැහැ. කාලාන්තරාවට කලින් නෙමෙයි, මගේ කෙටි කතා සංග්‍රහයටත් කලින් මම ලියා අවසන් කළ ෆැන්ටසි-විද්‍යා ප්‍රබන්ධයක අත්පිටපතක් තවම මගේ අල්මාරිය උඩ දුහුවිලිකමින් තිබෙනවා. පරිගණකයේ සහ මොබයිල ෆෝනයේ තැන් තැන්වල මා ලියූ කතාන්තර කැබලි පාවෙමින් රස්තියාදු වෙමින් තිබෙනවා. අලුතෙන්ම යමක් ලියන්න ආශාවකුත් තිබෙනවා. හැබැයි මේ අතරින් කවුරු ඉස්සර වේවි ද කියන්න මම දන්නේ නැහැ!

සාකච්ඡාව මෙහෙයවීම : බිනාලි රාජපක්ෂ

Similar Posts