ක්‍රි.පූ 7/8 සියවස තරම් ඈත යුගයක රෝමය නගරයක් ලෙස බිහි වුවත්, ප්‍රබල රාජ්‍යයක් ලෙසට ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නේ ක්‍රි.පූ 3 වැනි සියවස පමණ වන විට ය. එබැවින් අප රෝම නාට්‍ය කලාව ලෙස හඳුනා ගන්නේ මෙම කාල සීමාව තුළ ලතින් භාෂාවෙන් රචිත නාට්‍ය නිර්මාණයන් ය. ඒ පිළිබඳව ලිඛිත සාක්ෂි බොහොමයක් පවතී. අද්‍යතන යුගය වන විට රෝම නාට්‍ය පිළිබඳව මූලික වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට හැකි මූලාශ්‍රයන් අතර,
*පුරාවිද්‍යාත්මක සාධක
*දැනට ඉතිරිව ඇති නාට්‍ය පිටපත් හා ඒවායේ පෙරවදන්
*සමකාලීන ලේඛකයන් විටින් විට දක්වා ඇති අදහස්
*ඉපැරණි සිතුවම් හා කැටයම්
රෝම ඉතිහාසය පිළිබඳ ඓතිහාසික ලේඛනයන්
ආදිය වේ. The Roman stage නම් කෘතියෙහි W.Beare නම් විචාරකයා සඳහන් කරන පරිදි, ආදි රෝම වැසියා ඉතා බැරෑරුම් අවස්ථාවකදී පවා විහිලුව,සිනහව, උපහාසය අමතක නොකළ බවත් රෝම කොමඩි නාට්‍ය කලාවෙහි උපත කෙරෙහි මෙම පරිසරය බලපාන්නට ඇති බවත් සඳහන් කරයි.

ක්‍රි.පූ 364 දී පමණ ඇති වූ වසංගතයක් තුරන් කිරීම සඳහා එට්රූරියාවෙන් ගෙන්වූ නැට්ටුවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද නර්තනයන් ඇතුළත් කිසියම් අභිචාරවිධි මාලාවක් රෝම නාට්‍ය කලාවෙහි ආරම්භය සඳහා යම්කිසි බලපෑමක් ඇති කර ඇති බව සඳහන් වේ. එට්‍රස්කාවරුන්ගේ සාර්ථක රංගනයන් දුටු රෝමවරුන් සංගීතය, කවි, සින්දු, අනුකරණ, විහිලු ආදී සියල්ල එක්කර තම විනෝදාත්මක ක්‍රීඩා ඉදිරිපත් කළ අතර ඒවායෙහි විකාශය රෝම නාට්‍ය කලාවේ උපත බව තවත් විචාරක පිරිසක් පෙන්වා දෙති. එහෙත් ඇතැමුන් විශ්වාස කරන පරිදි එට්‍රස්කාවරුන්ගේ පැමිණීමට පෙර සිටම රෝමවරුන් අතර රැඟුම් ගැයුම් පැවත ඇත.රෝම නාට්‍ය කලාවේ ආරම්භය හා විකාශනය කෙරෙහි බලපාන්නට ඇතැයි විශ්වාස කළ හැකි තවත් ප්‍රබල සාධකයක් වන්නේ රෝමවරුන් අත්පත් කරගත් ග්‍රීක අධිරාජ්‍යයට අයත් ප්‍රදේශවල පැවති නාට්‍යමය ලක්ෂණ වෙයි. ඒ අතරිනුත් ග්‍රීක නව කොමඩියෙහි බලපෑම සුවිශේෂීය. ග්‍රීක නව කොමඩි නාට්‍ය රචකයෙකු වූ මිනැන්ඩර් ගේ නාට්‍ය කෘතීන් හි ලක්ෂණ බොහොමයක් රෝම කොමඩියෙහි දක්නට ඇත. ඕනෑම දේශයක කලා නිර්මාණ ගොඩනැංවීමෙහිලා එම දේශය තුළ පවත්නා සමාජ, දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික පසුබිම බොහෝ සෙයින් බලපානු ඇත. එය රෝම නාට්‍ය කලාවෙහි ආකෘතිය හා අන්තර්ගතය හැඩගැස්වීමෙහිලා ද එලෙස ම බලපානු ලැබ ඇත.

ක්‍රි.පූ 55 දී රෝමයේ දී මුල්වරට නිත්‍ය රඟහලක් ඉදිකරන ලද්දේ පොම්පෙ විසිනි. කැම්පස් මාර්ටියස් නම් ස්ථානයේ පිහිටි එය, ගලින් කරන ලද හැම අතින්ම අංග සම්පූර්ණ වූ එළිමහන් රඟහලකි.
නාට්‍ය කණ්ඩායම භාරව සිටි නායකයා දොමිනුස් ග්‍රේගිස් නමින් හදුන්වන ලදී. ස්ත්‍රී චරිත රඟ දක්වන ලද්දේ පිරිමි ළමුන් විසිනි. නාට්‍ය රඟපෑම වහලුන් විසින් සිදුකරන ලද බැවින් නාට්‍ය කරුවන් මෙන්ම නළුවෝ ද තරමක් දුරට සමාජයේ අප්‍රසාදයට ලක්විය. එහෙත් ආධුනිකයන් එම අප්‍රසාදයට ලක් වූයේ නැත. නළුවන්ගේ ඇඳුම් වශයෙන් රෝමවරුන් යොදා ගත්තේ අත් රහිත කබාය, උතුරු සළුව හා පාවහන් යුගලය කින් යුක්ත ග්‍රීක ඇඳුම ය. නාට්‍ය අරඹන්නට පෙර කණ්ඩායම් නායකයා නිවේදනයක් කරමින් නාට්‍යයේ නම, එහි කතුවරයා, ඒ සඳහා ඇසුරු කරගත් කර ගත් මුල් ග්‍රීක නාට්‍යයේ හෝ මූලාශ්‍ර ආදිය පිළිබඳ විස්තර ප්‍රකාශ කළේය. රෝම ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයට නාට්‍යයක් නොගැලපුන විට ඔවුන් කෑ කෝ ගසා එය කඩාකප්පල් කිරීමට පසුබට නොවූහ. ට්‍රැජඩි නාට්‍යවල වෙස් වෙස්මුහුණු භාවිත වූයේ නළුවෙකු යම් චරිතයක් සමග හෝ යම් චරිතයක් නළුවකු සමග හෝ අනන්‍ය ලෙස සැලකීම වළකනු පිණිසය. නව කොමඩි සඳහා වෙස්මුහුණු නොගැලපුනේ නළුවාගේ මුහුණු සැඟවීම හේතුකොටගෙන මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට බාධා වූ නිසාය.
එහෙත් ඔහොම යෙහි පොම්පෙ ගේ රඟහල ඉදි වන තෙක් වෙස්මුහුණු වල අවශ්‍යතාව දැනුණේ නැත. ප්‍රේක්ෂකයන් පිරිස එතරම් විශාල නොවූ බැවින් වෙස්මුහුණු භාවිත නොවේ යැයි සිතිය හැක. එහෙත් සිසරෝගේ කාලයෙහි රොස්කියස් නමැති නළුවා වෙස්මුහුණු පැළඳි බව සඳහන් වේ. ප්ලෝටස් හා ටෙරන්ස් ගේ කාලයෙහි වෙස් මුහුණු වෙනුවට සායම් හා ව්‍යාජ කොන්ඩ යොදාගත් බව පෙනේ.
පැරණි ඇතීනියන් ප්‍රහසන වල නළුවන්ගේ ගණන සාමාන්‍යයෙන් තුන් දෙනෙකුට සීමා විය. එහෙත් නව ප්‍රහසන වල ගායක වෘන්දයක් නොවූ බැවින් නළුවන් වැඩි දෙනෙකු යොදා වැඩිදෙනෙකු යොදාගත් බව පෙනේ. පල්ලියාටා වර්ගයට අයත් රෝම ප්‍රහසන වල ද නළුවෝ බොහෝ දෙනෙක් වූහ. ප්ලෝටස් ගේ හෝ ටෙරන්ස් ගේ ප්‍රහසන නාට්‍යයක් රඟ දැක්වීම සඳහා අවශ්‍ය කරන නළුවන් ගණන අවම වශයෙන් හතරකි.
රෝමයෙහි නළුවන් සලකන ලද්දේ යාචකයන් හා පාදඩයන්ට සමාන පුද්ගල ලෙසය. එබැවින් දිගු කලක් යන තුරු නළුකම සලකන ලද්දේ සමාජයේ පහත් පන්තියේ අයගේ දෙයක් ලෙසය. එහෙත් නීරෝ අධිරාජ්‍යයාගේ කාලය වන විට ස්ත්‍රීන් පමණක් නොව අධිරාජ්‍යයා පවා වේදිකාවේ රඟ පෑවේය. (වීරක්කොඩි,2006,පි.27)
නාට්‍ය හා ප්‍රේක්ෂක අතර පැවැතියේ සෘජු හා ක්ෂණික සබඳතාවයකි. රජයේ අනුග්‍රහය ට මෙන්ම රජයේ වාරණයට ද ලක් වූ රෝම නාට්‍ය පොදු ජනයාගේ ප්‍රසාදය ලබා ගැනීම සඳහා ම සඳහාම පෙන්වන ලද්දකි. වඩා උසස් වටිනාකම් සෙවීමට රචකයෝ උත්සාහ නො කළහ. ජයග්‍රාහී පෙරහැර අවස්ථාවලදී රඟ දැක්වූ නාට්‍ය විශේෂයෙන් යුද්ධ භටයන් පිනවීම අරමුණු කරගත් බැවින් වැඩි වශයෙන් ග්‍රාමීයත්වයට නැඹුරු වූවා යැයි සිතිය හැක. ග්‍රීක ප්‍රහසන නාට්‍යවල මෙන් දේශපාලනය හෝ ආගම උපහාසයට ලක් කිරීමට ඉඩක් රෝම ප්‍රහසනයෙහි නොවීය. ප්‍රේක්ෂක පිරිස ද ග්‍රීකයන් තරම් බුද්ධිමත් නොවූ බැවින් නාට්‍යයෙහි කතා වස්තුව ද එතරම් සංකීර්ණ නොවීය. චරිත නිරූපණය අතින් ද ඒවා සාරවත් නොවීය. ඇරිස්ටොෆනීස්ගේ ප්‍රහසන වල චරිත බිහි වූයේ පුද්ගලයා හා වර්ගය හොඳින් සංයෝග වීමෙනි. එහෙත් රෝම ප්‍රහසන වල දක්නට ලැබුනේ වර්ග චරිත පමණි.ඒවායේ පවා දක්නට තිබුණේ ඡායා මාත්‍ර පමණි. ගායන කණ්ඩායමක් හෝ තිර භාවිතයක් නොවූ බැවින් වේදිකාව හිස් කිරීමෙන් විනා ජවනිකාවක අවසානය දැක්වීම දුෂ්කර විය. නලුවෙකු වේදිකාවට පිවිසෙන විට ඔහුගේ පිවිසීම වේදිකාවේ සිටින වෙනත් නළුවෙකු විසින් ප්‍රේක්ෂකයන්ට දන්වන ලදී. (එම,පි.29)
රෝමයේ පැවති ම්ලේච්ඡ ක්‍රියාදාමයක් වූ ග්ලැඩියේටර් සටන් රෝමය තුළ නතර වූයේ ක්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍ය ආගම බවට පත් වූ ක්‍රිස්තු වර්ෂ පස්වන ශත වර්ෂයේදීය. එතෙක් ග්ලැඩියේටර් සටන්වලින් හා වහල් ක්‍රමයෙන් රෝම සමාජය නොසන්සුන්තාවයට පත් කළ බව පැහැදිලිය. කොලෝසියමේ පවත්වන ලද නාට්‍ය උත්සවවලදී කෙරුණේ ව්‍යාජ ඝාතන නොව සැබෑ මනුෂ්‍ය ඝාතනයි. death of hercules නාට්‍යයේ හර්කියුලිස් වශයෙන් පෙනී සිටින වහලෙක් වූ එම නළුවා නාට්‍යම කොටසක් ලෙසින් පණපිටින් පුළුස්සා දමනු ලැබීය. (ජයසේකර,2000,පි.127)
මෙම තොරතුරුවලින් තහවුරු වන්නේ රෝම සමාජය පහත් ම්ලේච්ඡ රසවින්දනයකට හුරුපුරුදු වී සිටි බවයි. එවන් පිරිසකට ග්‍රීසියේ මෙන් උසස් රස වින්දනයකින් යුක්ත ඛේදාත්ම නාට්‍ය පෙන්විය නොහැකිය. අවශ්‍ය වන්නේ පහත් රසවින්දනයක් ලබා දෙන ප්‍රහසන ගුණයෙන් යුක්ත නාට්‍යයයි. ප්ලෝටස් මෙන්ම ටෙරන්ස් ද ඉෂ්ට කරනු ලැබුවේ එම අවශ්‍යතාවයයි. ප්ලෝටස් නිදහස ලැබූ වහලෙකි. එම නිසා ග්‍රීක නාට්‍යකරුවන්ට තිබූ නිදහස ඔහුට නොලැබිණි. රෝම නාට්‍ය ග්‍රීක නාට්‍ය මෙන් සංස්කෘතිමය අංගයක් නොවේ.එය විනෝදාස්වාදය සපයන වෙනත් ක්‍රීඩා අතර එක් අංගයක් පමණි. (බස්නායක,2018,පි.41)
රෝම නාට්‍ය කලාවේදී කලාවේ දී අපට හමුවූ නාට්‍යකරුවන් තිදෙනෙකි. ඒ,
*ප්ලෝටස්
*ටෙරන්ස්
*සෙනෙකා ය.
ප්ලෝටස්ගේ නාට්‍ය සරල තේමා ඔස්සේ රචනා වූ ප්‍රහසන නාට්‍ය වේ. ඔහු සියල්ල කරන්නේ ප්‍රේක්ෂක රුචිකත්වයන්ට ගැලපෙන අන්දමට ය. ඒ තුළින් ඔහු හාස්‍ය රසය උත්පාදනය කරවයි. (Ex-Menaechmi/ මෙනැක්මි සහෝදරයෝ- මෙහි ප්‍රහසනය මතුවන්නේ සහෝදරයන් දෙදෙනා වරදවා වටහා ගැනීමෙනි). වස්තු විෂයය පිළිබඳව ප්ලෝටස් කෙරෙහි එල්ල වෙන ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු ගැඹුරු මෙනෙහි කිරීම් ආශ්‍රිත විශයන් සියල්ල හිතාමතාම ඔහුගේ කතා වස්තූන්ගෙන් බැහැර කිරීමට උත්සාහ කිරීමයි. ඔහු දේශපාලනමය, සමාජමය ගැටළු වලින් ඈත් වී තම නාට්‍ය ඉදිරිපත් කර ඇත.
ප්‍රහසන පවිත්‍ර කොට ඉහළ මට්ටමකට ගෙන ඒමට ප්‍රයත්න දැරූ ටෙරන්ස් ට ජනතාව හා ගැටෙන්නට සිදුවිය. එහෙත් ප්ලෝටස්ට වඩා නාට්‍යයේ කලාත්මක ලක්ෂණ පිළිබඳ හැඟීමක් ඔහුට තිබිණි. ඔහු තම පූර්විකාවේ දී හැම දෙයක්ම තේරුම්කර නොදී නාට්‍යයට සවන් දෙන ලෙස ඉල්ලා සිටී. රෝම ප්‍රහසන ක්ෂේත්‍රයෙහි පැවති තවත් අශෝභන අංගයක් ටෙරන්ස්ගේ ෆොර්මියෝ නාට්‍යයෙන් හෙළිවේ. එනම් තමාට ඔල්වරසන් දෙමින් ප්‍රතිවාදීන්ට බාධා කිරීම සඳහා නළුවන් විසින් කුලියට ගත් කණ්ඩායම් යෙදවීම ය. තවද සත්ව සංදර්ශනවලින් ද නාට්‍යයට බාධා ඇති විය.
සමාජය තුළ හිස ඔසවා පැවති මිත්‍යා විශ්වාස තත්කාලීන රෝම වැසියන් විසින් ප්‍රතික්ෂේප නොකරන ලදී. නීරෝගේ උපදේශකයා වූ සෙනෙකා ද ආගම හා මිථ්‍යා විශ්වාස පිළිබඳව දක්වා ඇත්තේ මෙබඳු අදහසකි.
“දර්ශනවාදියෙකු මේ චාරිත්‍ර වාරිත්‍ර පිළිපදිනු ඇත්තේ දෙවියන්ට ප්‍රිය වන නිසා නොව, ඒවා නීතියෙන් පණවා තිබෙන නිසාය. කාලාරම්භයත් සමඟම බිහි වූ මිනිසා විශ්වාසයන් විසින් නිර්මාණය කරනු ලැබූ, එක්තැන් කරනු ලැබූ නිහීන දේව සමූහය අප විසින් පිදිය යුත්තේ එවැන්නන් සිටින නිසා නොව, ආදර්ශයන් පිහිටුවීම සඳහා බව අමතක නොකළ යුතුය. (ජයසේකර,2000,පි.163)
සෙනෙකා එලෙස කරන ප්‍රකාශනයෙන් රාජ්‍යය විසින් ආගම හෝ දෙවියන් නිර්මාණය කර ඇත්තේ කාගේ අවශ්‍යතාවය සඳහා ද යන්න පැහැදිලි වේ. රෝම නාට්‍ය කලාවට පදනම සකස් වන්නේ මෙවන් පසුබිමක් තුළය.
°•°ප්ලෝටස් (plautus)
සරල හාස්‍ය රසය මූලික කරගත් නාට්‍ය රැසක් මොහු බිහි කර ඇත. ග්‍රීක නව කොමඩි රචකයෙකු වූ මිනැන්ඩර් ගෙ නිර්මාණ වල ආභාෂය ලැබූ ප්ලෝටස් රෝම වේදිකාවට හා රෝම පරිසරයට ගැලපෙන අයුරින් නාට්‍ය නිර්මාණය කළ බව පෙනේ.
*The pot of gold (රන් මංජුසාව)
*Menaechmi (මෙනැක්මි සහෝදරයෝ)
*Captivi (සිරකරුවෝ)
*Mile’s Gloriosus (පුරාජේරුකාර සෙබලා)
*The Rope (කඹය)
*Amphitryo (ඇම්ෆ්‍රිට්‍රියෝ)
*හොල්මන් ගෙදර
•°•ටෙරන්ස් (Publius Terantius Ater)
මොහුද ප්ලෝටස් මෙන් රෝමයට පැමිණ ඇත්තේ වහලෙකු ලෙසය. තම නාට්‍ය නිර්මාණයන්ට ඔහුගේ හාම්පුතාගේ නම (ටෙරන්ස්) මොහු යොදාගෙන ඇත. ප්ලෝටස් විසින් තබන ලද ඉදිරි පියවර තවත් පියවරකින් ඔසවා තැබීමට ටෙරන්ස් සමත් විය. මොහු විසින් නිර්මාණය කරන ලද නාට්‍ය නිෂ්පාදන හයම දැනට ඉතිරිව පවතී.
*Andria (ඇන්ඩ්‍රොස් සිට පැමිණි තරුණිය)
*Heaton Timorumenos (ස්වයං වධකයා)
*Eunuchus (නපුංසකයා)
*Phormio (ෆෝමියෝ)
*Hecyra (නැන්දම්මා)
*Adelphoe (සොහොයුරෝ)
•°•සෙනෙකා
රෝම නාට්‍යකරුවන් අතර හමුවන එකම ශෝකාත්ම නාට්‍ය නිර්මාණය කළ රචකයා වන්නේ සෙනෙකා ය. ඔහු විසින් රචනා කරන ලදැයි සැලකෙන ශෝකාත්ම නාට්‍ය සියල්ලකටම ග්‍රීක ශෝකාත්ම නාට්‍යවල තේමා හා කතා පුවත් යොදාගෙන ඇත. සිය ශෝකාත්ම නාට්‍ය සඳහා ග්‍රීක නාට්‍ය ආභාසය ලබා ගත්ත ද එම කතා පුවත් ඉදිරිපත් කළ විලාශය ග්‍රීක ශෝකාත්ම නාට්‍ය වලට වඩා බෙහෙවින් වෙනස් විය. ඔහුගේ සියලු ශෝකාත්ම නාට්‍යයන් අංක පහකින් සමන්විත වූ අතර ගායන වෘන්දය ගීත හා දීර්ඝ දේශන ඔහුගේ නාට්‍යවල අනන්‍ය ලක්ෂණ වේ. එසේම අවතාර වැනි අභෞතික දෙයින් ගහන සෙනෙකා ශෝකාත්ම නාට්‍යයන්හි මරණය, සියදිවි නසා ගැනීම බහුලව දක්නට ලැබේ. එසේම පලිගැනීම ද ඔහුගේ ශෝකාත්ම නාට්‍යවල බෙහෙවින් දක්නට ලැබෙන ලක්ෂණයකි. එලිසබතීන යුගයේ ශෝකාත්ම නාට්‍යකරුවන්ට (විශේෂයෙන් ශේක්ස්පියර්ට) බෙහෙවින්ම බලපෑ පූර්ව කාලීන නාට්‍යකරුවන් අතර සෙනෙකා සුවිශේෂ වේ.
*hercules furens
*oedipus story
*phoenissae
*thypstes
*hereculess
*oetaeus
*octavia
ආදී නට්‍යයන් මොහු නිර්මාණය කර ඇත.
එබැවින් නිරන්තර යුද්ධ මානසිකත්වය මෙන්ම මෙන් ම යටත් රාජ්‍යයන් ඇසුරින් එක්වූ නොදියුණු ම්ලේච්ඡ මිනිසුන්ගේ රුචිකත්වය පදනම් කර ගනිමින් බොහෝ රෝම නාට්‍යවලද රළු පරළු ගති එක්වී ඇති බව පෙනෙයි. මෙම පීඩිත පරිසරය තුළ රෝම වැසියා බෙහෙවින් හාස්‍යෝත්පාදක නාට්‍ය නැරඹීම අපේක්ෂා කළ බැවින් රෝමයේ මුල් කාලීන සියලු නාට්‍ය කොමඩි නාට්‍ය විය. ශෝකාත්ම නාට්‍ය බිහි වූයේ ඉතා කලාතුරකිනි.
ආශ්‍රිත ග්‍රන්ථ,
*ජයසේකර, කමනි. (2000) ප්ලෝටස් ගේ නාට්‍ය කලාව, ගොඩගේ ප්‍රකාශන, මරදාන.
*වීරක්කොඩි , ඩී.පී.එම්. (2006) රෝම ප්‍රහසන දෙකක්, ගොඩගේ ප්‍රකාශන, මරදාන.
*බස්නායක, ගාමිණී. (2018) ශ්‍රී ලාංකේය දේශපාලනික නාට්‍ය කලාව, ගොඩගේ ප්‍රකාශන, මරදාන.
Roman theatre
Photos reference ,
සැකසුම- ©ඩිල්රංග පෙරේරා
