ස්ත්‍රිය යනු කවුද?
වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන්ය. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යනාදිය පිළිබඳ විමසුමට ලක් කිරීම කාලීන යැයි සිතමි.
මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ.
ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එය ජීව විද්‍යාත්මක දරුවෙක් බිහි කිරීමට පමණක් අවශ්‍ය වේ. සමාජ පරිණාමයේදී ජීවයේ පැවැත්ම සදහා ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදීම අත්‍යවශ්‍ය සාධකයක් වේ. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින්ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින්ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ. ස්ත්‍රී පුරුෂ භේදය මෙලොව වැදගත් වන එකම කාරණය වන්නේ එයයි. නමුත් සමාජ පරිණාමයේදී විවිධ යුග වලදී ස්ත්‍රිය සහ පුරුෂයා අතර බලය සම්බන්ධ අරගල පැන නැගුණ අතර එම යුග වල අවශ්‍යතාවන්ට අනුව විටක ස්ත්‍රියද, තවත් විටක පුරුෂයාද බලවත් විය.
උදාහරණ වශයෙන් ග්‍රීක යුගයේදී කාන්තාවන්ට භූමියේ අයිතිය පවා අහිමිව තිබුණු අතර ඉන්දු නිම්න ශිෂ්ටාචාර සමයේදී කාන්තාව පවුල තුළ ප්‍රධානියා විය.
කෙසේ වුවත් මෙම ලිංගික විපර්යාසය නිසා ස්ත්‍රීන් හා පුරුෂයන් කායික හා මානසික මෙන්ම අභ්‍යන්තර හා බාහිර වශයෙන්ද එකිනෙකට වෙනස් ලක්ෂණ වලින් යුක්ත වේ. නමුත් එම වෙනසට වඩා ඉතා පුළුල් වෙනසක් සමාජය විසින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ආරෝපණය කර ඇත. ඒ අනුව පුරුෂයාට වඩා වෙනස් වූ අප්‍රධාන තත්ත්වයක් ස්ත්‍රියට පවුල තුළ මෙන්ම සමාජය තුළත් හිමිව ඇත. මෙම දෙපක්ෂයට සමාජය විසින් පවරනු ලැබ ඇති කාර්යභාරයන් පවා එකිනෙකට වෙනස්ය. එසේම ඒ ස්ත්‍රීන් හා පුරුෂයින් සම්බන්ධයෙන් පවතින සමාජ ආකල්ප, සම්ප්‍රදායන් හා විශ්වාසයන්ද එකිනෙකට පරස්පර වේ. එපමණක් නොව ඇතැම් අවස්ථාවලදී ස්ත්‍රීන් හෝ පුරුෂයන් සඳහා ක්‍රියාත්මක වන නීති රීතිද එකිනෙකට වෙනස් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සම්ප්‍රදායික සමාජය පමණක් නොව නූතන සමාජය තුළ ස්ත්‍රිය දෙවන ගණයේ පුරවැසියෙකුගේ තත්ත්වයට පත්ව ඇත.
සමාජය තුළ ස්ත්‍රී පුරුෂ භේදය පිළිබදව විග්රහ කරමින් උස් පහත් ගති මතු කිරීමට වඩා වැදගත් වන්නේ දෙපාර්ශයටම අදාළ තත්ත්වයන් නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට අවැසි පරිදි තම කාර්යභාරයන් හඳුනාගෙන ක්‍රියාත්මක වීමයි.
එහෙත් ඓතිහාසිකව විවරණය කිරිමේදී පවා කාන්තාව විසින් සිය යුතුකම් ඉටු කළාද යන්න පිළිබඳව විමසුමට ලක් කරනු මිසෙක, ඇයගේ අයිතිවාසිකම් පිළිබඳව අවධානයට ලක්කර ඇත්තේ අල්ප වශයෙනි. ඊට ඉතිහාස මූලාශ්‍ර බොහෝමයක් සාක්ෂි දරයි. නමුත් මේ වන විට මතු වන සමාජ කතිකාව තුළ කාන්තාවන්ටත් පුරුෂයින් හා සම තත්ත්වයක් ලබා දීමේ උත්සහයක් පවතී.
සම්ප්රදාය මඟින් සිරකර තිබූ කාන්තා චින්තනය අනවශ්‍ය සම්ප්රදායයන් බිඳ දමමින් ඉදිරියට එන්නට පටන් ගෙන ඇත. එම නව වාතාවරණය ඇති වීමට සවියක් වූ ප්‍රධාන ප්‍රවේශයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය නම් කළ හැකිය. ආසියාතික රටවල් තුළ පවතින සාම්ප්‍රදායට අනුකූලව කාන්තාව සිර කිරීමක් දැක ගත හැකි වුවද බටහිර රටවල සංවර්ධනය මිරිඟුවක් නොවීමට කාන්තාවගේ දායකත්වයද ඉහළින්ම ලැබී තිබේ. නැගෙනහිර ආසියාතික රටක් වන චීනය, ජපානය ඊට කදිම උදාහරණයකි.
අප දන්නා සෑම ආගමකම, සංස්කෘතියකම පාහේ කාන්තාව පිළිබදව විචිත්‍ර, නුවණැති කතා මෙන්ම අනුවණ, අපහාසාත්මක කතාද විරල නොවේ. ආගමික පසුබිම පදනම් කරගෙන යුගයෙන් යුගයට කාන්තාව ඔසවා තැබීම හෝ පාගා දැමීම සිදුකර තිබේ. එසේ සිදුව ඇත්තේ ඒ ඒ යුගයේ සිටි මිනිසුන්ගේ සංකල්පනා හා ආගම දහමේ බලපෑම මත වීම යැයි කීම යුක්ති සහගතය. මෙය තනි එක් පුද්ගලයෙක්ගේ අදහසක් නොවේ. සමාජ කණ්ඩායමකම අදහස් වල ඒකාබද්ධ වීමකි.
බමුණු දහම තුළ කාන්තාව අපහාසයට හා උපහාසයට ලක් කර ඇත.
ඇය කාම සම්භෝගය සඳහාම මවන ලද තැනැත්තියකි. ඇය දකින විට සිත උමතු වේ. ‘ලෝකයේ සියලුම සුන්දර වස්තූන්ගෙන්ද සියලුම විෂ ද්‍රව්‍යයන්ගෙන්ද එකට කලතා තැනූ මායාව නැමැති කරඬුව ගැහැනියයි.’ යනුවෙන් වේද සාහිත්‍යයේ කාන්තාව හදුන්වා දී තිබේ. කත ඇඟිලි දෙකේ නුවණක් ඇත්තියෙකි. කාන්තාවක කියන එකදු වචනයක් හෝ විශ්වාස නොකළ යුතුය. (නාරි චිත්තං නවිස්වාසේත්) මෙවැනි කියමන්වලින් පෙනෙන්නේ කාන්තාවක් නම් සුන්දර විය යුතු බවත් පිරිමියා යටතේ පසුවිය යුතුය.
එහෙත් සම්බුද්ධ දේශනාවට අනුව කාන්තාව මවක්, බිරිදක් , දියණියක් ලෙස මනා ගුණයක පිහිටා වර්ණනා කර ඇත. මවකගේ ආශිර්වාදයෙහි ඇති උතුම් ගුණයත්, මවක ලෙස කාන්තාවගේ ගුණ වර්ණනාවත් මාතුපෝෂක ජාතකයෙන් මනාවට කියාපායි. යම් ක්‍රියාවක් වරදක් හෝ නිවැරදි යමක් වනුයේ එය කාන්තාව හෝ පුරුෂයා සිදු කළ නිසාවෙන් නොවේ. ඊට මූලික වන්නේ චේතනාවයි. ඒ බව බුදු දහමේ වසල, පරාභව, මංගල ආදී සූත්‍ර දේශනා වලින් හේතු ප්‍රත්‍ය සහිතව විෂද වේ. වෙසඟනන් පැවිදිව රහත් ඵලය දක්වා ආ ගමන් මග පිළිබඳව ගතහොත් එයින් තහවුරු වන්නේ කාන්තාවටද නිසි විචාරී බවක් ඇත්නම් ආත්ම සාක්ෂාත්කරණයට පිළිවෙළින් පැමිණිය හැකි බවයි. නමුත් චුල්ලපදුම ජාතකය තුළ කාන්තාවගේ චපලත්වය විහිදුවාලයි.
ශුද්ධ වූ බයිබලයෙහි දක්වන පරිදි විනීත, දේවගරුක බිය ඇති කාන්තාවට පැසසුම් ලැබීම නිරන්තරයෙන්ම සිදුවේ. පහත් බව හෝ පාපී බව තීරණය වන්නේ උපත අනුව නොව ක්‍රියාව අනුව බව බයිබලයෙන්ද ඔප්පු වන්නේ එලෙසිනි.
විනීත වනිතාව ආත්ම ගෞරවය දිනයි. අවිනීත ස්ත්‍රිය නින්දාවකි.
(ශුද්ධ වූ බයිබලය – හිතෝපදේශ)
සාමාන්‍ය ජිවන ව්‍යවහාරයෙහි හා සාහිත්‍යයෙහිද කාන්තාවට වැඩි තැනක් ලබා දී තිබේ. එයද ඇයගේ ගුණ හා නුගුණ කියන්නටය. සාමාන්‍ය කතාබහ තුළ මෙන්ම සාහිත්‍ය කලාවෙහිද කාන්තාව වර්ණනා කිරිමට අවස්ථාවෝචිතව උපමාවට බොහෝමයක් දේ යොදා ගෙන ඇත.
ජන කවිය තුළ කාන්තාව පිළිබඳ මෙලෙස සඳහන් කර වේ.
පුරුෂයා –
අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මග කිමද නගෝ
අම්බලමේ නැවතී ඉඳ අප යමුද නගෝ
කාන්තාව –
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිදුගේ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා
පුරුෂයා –
මිණි මිණි පොදේ ගණ අදුරේ කන මදුරු
බල්ලෙක් ඉදන් උඩු බුරලයි උගෙ නපුරු
කෙල්ලක් ඉදන් දොර නාරියි ඇගෙ නපුරු
මල්ලක් කදුරු කන්නෙමි මම දොර අරිනු
කාන්තාව –
අට පහ නොදන්නා තෝ කාගේ කවුද
බසක් නැතිව එන්නට කීවේ කවුද
ගසක් නැතිව අතු ලියලන්නේ කොහිද
මල්ලට දෙමල්ලක් කාපිය මට මොකද
මෙම කවි සතර දෙස බැලීමෙන් පිරිමියා සමඟ කතට උරෙනුර ගැටීමට තිබුණු අවස්ථාවත්, එහිදී ඇයට තිබුණු ශික්ෂණයත්, අවස්ථානුකූලව පුරුෂයින්ගේ ගොදුරක් බවට පත් නොවී උපක්රමශීලීව එයින් මිදීමටටත් ඇය සතු දක්ෂතාව මනාව මතුව පෙනේ. එසේම එම කවි සංවාද තුළින් කතගේ චිත්තනමය ප්‍රමිතියද ඉස්මතු වන්නේය. ජන වහරට අනුව කාන්තාවගේ නුවණ හැඳි මිට තරම් දිගු බව කීවද මෙවැනි උදාහරණ මඟින් ඇයගේ ප්‍රඥාවන්ත බව පැහැදිළි වේ.
මෙබඳු කවි කතා රාශියක් ජනශ්රැති සාහිත්‍ය තුළ ඕනෑ තරම් අපට හමුවේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට පිරිමින්ගේ පෑන් තුඩගට කාන්තාව නතු වන්නේ නිරායාසයෙනි. එතරම් ඒ සුන්දර ලාලිත්‍යයට ගැහැණුකමට පිරිමින් ලොබ බඳියි. ග්රාමීයව නිතර කියැවුණු ගැටිස්සි, ලමිස්සී, පැටික්කි, පොඩිත්තී, ගෝමරී ආදි වදන් තවමත් ඔවුන්ගේ ව්‍යවහාරයෙන් ගිලිහී නොමැත. ජන සාහිත්‍යයෙන් ඔබ්බට ගොස් මෙරට සම්භාව්‍ය සාහිත්‍ය විමර්ශනය කිරීමේදීද කවි කතා තුළ කාන්තාව වර්ණනාවට ලක් කළ අවස්ථා එමටය. එහිදි නිර්මාණකරුවාගේ අභිමතය පරිදි විටෙක අතිශයෝක්තිය ඉපදෙන පරිදි කත වර්ණනා කර ඇත. එමඟින් එම කාව්‍යයේ රසය මනා ලෙස සුරැකී ඇත. ශෘංගාරාත්මක වාර්ණනාවන්ද හිඟ නැත. නමුත් එහි ඇයගේ ගුණ මෙන්ම නුගුණද අන්තර්ගතය.
සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේදි කවියා දුටු සුන්දර කත මෙලෙස ගොනු කර දැක්විය හැකි ය.
සිසි වන උවන ඉඟ සුඟ ගත හැක මිටින
නිසි පුළුලකුල රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුර ඟන
අසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන
(සැළලිහිණි සංදේශය)
කාන්තාවගේ ස්වභාව වර්ණනයට කවියා දැක්වූ උනන්දුව හා එහි අන්තර්ගතය පහසුවෙන්ම වටහාගැනීමට මඟක් වශයෙන් මෙම කවි දැක්විය හැකිය. සම්භාව්‍ය සිංහල කවියා නිතරම කාන්තාවගේ ගුණ වර්ණනයට වඩා රුව වර්ණනයට අවධානය යොමු කර ඇත. ඒ කරණ කොට නූතන සිංහල කවියා කාන්තාවගේ රුවට වඩා සමාජ සත්තාව ඉස්මතු කරමින් ඇය පිළිබඳව ගුණ කඳක් කවිය තුළ නිධන් කර ඇතැයි හැඟේ.
අයස ලඟදී මා ළඟ සිටි රසවතිය
සසිරිබර සැපත නොමදුටු සිරිමතිය
නිරස තුල බොජුන් වැලදු රසවතිය
කටුක වැල් යහන සැරසූ පතිවතිය
(යමුනා මාලිනි පෙරේරා - ‘කුලී මාළිගා’ - 1991)
ලෝකය තුළ සමාන අයිතිවාසිකම්, සමාන මනුෂ්‍යත්වයක් පුරුෂයාට හා ස්ත්‍රියට ලැබිය යුතුය. නමුත් ඇතැම් යුගවලදී ස්ත්‍රියට පුරවැසි අයිතිය පවා නොතිබීම කණගාටුවකි. මේ නිසා ඕනෑම අවස්ථාවක ඇයව විකිණීමට, මිලදී ගැනීමට, පහර දීමට, අවශ්‍ය තරම් කාර්යයන් ලබා ගැනීමට, ඒ සඳහා මුදල් නොගෙවා සිටීමට හැකිය. ඔවුන්ට ඡන්ද අයිතියක් හා අධ්‍යාපන අයිතියක් පවා නොතිබිණි. ඔවුන් චංචල දේපළක් ලෙස අතීතයේ සිට භාවිතා කර ඇති බව මූලාශ්‍ර අනුව පෙනේ. මෙවැනි ඉරණම් සහගත තත්ත්වයක් අතීතයේ සිටම කාන්තාවට අත් විය.
නමුත් ස්ත්‍රී ආධිපත්‍ය පැවති කාල හා මාතෘ මූලික සමාජ පැවති බවටද සාක්ෂි පවතී. එවැනි මාතෘ මූලික සමාජ වලදී දරුවාගේ පියා කවුරුන්ද යන්න වැදගත් නොවේ. දරුවාගේ සුජාත අයිතිය වෙනුවෙන් පමණක් විවාහ වේ. මාතෘ මූලික සමාජයක දරුවාට ලැබෙනුයේ මවගේ නාමයයි.
උදාහරණ –
■ මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන
සිංහල සාහිත්‍යයේදී ස්ත්‍රියට විවිධාකරයේ සීමාවන් පැනවීමක් සිදු කර ඇත. නැතිනම් ස්ත්රින් කෙරෙහි අප්රසන්නතාව මුසු හැඟීම් උද්දීපනය වන ආකාරයේ අදහස් මතු කර පෙන්වයි.
උදාහරණ –
■ අවසර කල් රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන
■ සිනා නොමසන් දසන් දක්වා
■ ගැහැණු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය … පිරිමි ජාතිය උතුම් ජාතිය මල් පුදාලා මරා දාපිය
එමෙන්ම ගීත සාහිත්‍ය තුළද ස්ත්‍රියට අසාධාරණයක් සිදු වී ඇති බව මා හැඟි කරුණයි. විරහව තුළ වුවද වරද උද්දීපනය කරන්නේ ස්ත්‍රියට අසාධාරණ ආකාරයටය. පෙම් සබඳතාවක වුවද එය නැවතී ගිය පසුවද ඇයගේ චරිතය ඝාතනය වන ආකරයට අදහස් ඉදිරිපත් වන්නේද ස්ත්‍රියට අයහපත් වන ආකාරයටය.
උදාහරණ –
■ ඔබ පෙම් කළ ඔබේ කුමාරිය ඔබට ආදරේ කියනා අයුරින්
පෙරදිනයක මා පෙම් කරනා සඳ මටද ආදරෙයි කියා තිබේ.
■ රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ හිඳ ඔබ සනසාලන ඇය
පෙර දිනයක මා ලඟ හිඳ
මටද ආදරේ කියා තිබේ
මේ ආකාරයට ගීත සාහිත්‍ය තුළදී වුවද ස්ත්‍රී පාර්ශවයට සීමා පැනවීමක්, අසාධාරණයක් සිදු කිරීමක්, නොසළකා හැරීමක්, පහත හෙළා දැමීමක් සිදු කර ඇත.
මෙවන් පසුබිමක් ඈත අතීතයේ පටන් නොයෙකුත් ආකාරයේ අසාධාරණයන්ට ලක් වෙමින් සිය අයිතීන්, අයිතිවාසිකම් උදෙසා පුරුෂයින් හා උරෙනුර ගැටෙමින් ස්ත්‍රීන් සමාජ යථාර්ථයට මුහුණ දෙනු දැකිය හැකිය.
සටහන –
H.M.N.D හේරත්