කින්නර අරණ – 13 කොටස

author
0 minutes, 14 seconds Read

සේන සිය පියා හා බංගලාවට ගොඩවැදුණේ එම දුරකතන සංවාදය සිදු වූ දින සන්ධ්‍යාවේදී ය. ඔවුන් දැකීමෙන් සිය පසුතැවිලි සහගත සිතිවිලි අලුත් කරගත් ජයසුන්දර මැණිකේ අසරණව සිය සැමියා දෙස බැලුවේ දහවල් දෙව්මිණි හා සිදු වූ සංවාදය පිළිබඳ ඔහුට හෙළි කර සිටින්නට එතෙක් නොහැකි වූ නිසාවෙනි. ඒ කිසිත් නොදත් ජයසුන්දර හාමු සිනහමුසු මුහුණින් අමුත්තන් පිළිගත්තේය. “අවුරුද්දට ආවාට පස්සේ මේ අප්පච්චියි පුතායි දෙන්නාම එකට මුලිච්චි වුණාමද කොහෙද!” ඔහු කීවේය. ඔවුන් දෙදෙනා සේනක තුවාළ ලැබූ අලුත ඔහුගේ සැප දුක් බලන්නට එහි ගිය විටද නිවසේ සිටියේ සේනක පමණි. එදින ඔහු හිසේ වෙළුම් පටි තිබියදීම එම අමුත්තන් හට හැකි උපරිමයෙන් සංග්‍රහ කරන්නට වෙහෙසුණේ තමා හා ඔවුන් අමනාප වී ඇත්දැයි සිත රැඳී තිබූ සැකය දුරු වී ගිය සැනැසුමෙනි.

“එහෙමයි,” හිස නවා ආචාර කොට එලෙසම සිනහමුසු මුහුණින් පිළිවදන් දුන් රත්නපාල බාසුන්නැහේ සේන අත වූ පැණි වරකා බෑය ගෙන කණප්පුව මතින් තැබුවේය. “ලොකු හාමු පැණි වරකා කන්ට බොහොම මනාප හන්දා ඕං අද කඩාපු ගෙඩියෙන් ඇන්න ආවා බංගලාවේ පංගුව…”

“පංකාදුයි! ඉතිං ඉතිං, වාඩි ගන්න බාසුන්නැහේ…” ජයසුන්දර හාමු ගැමියන් හා බොහෝ විට පයිරු පාසානමේ යෙදුණද, ඉතා ප්‍රිය සිතින් කතා බස් කරමින් කල් ගෙවන්නට ඔහු කැමති වූයේ ගැමියන් අතලොස්සක් දෙනා සමග පමණි. රත්නපාල බාසුන්නැහේ ඉන් එක් අයෙකි. ඔහුගේ තීක්ෂණ බුද්ධියත්, ඇසූ පිරූ තැන් ඇති බවත් තුළින් එම සංවාදයන්ට එක් වන ගැඹුරු අරුත්බර බවට ඔහු ප්‍රිය කළේය. 

සිය පුත්‍රයා සමග ඉස්තෝප්පුවේ වූ ලොවි බංකුවට බර දුන් බාසුන්නැහේ ආගිය කතාබහට මුළ පිරුවේය. එම කතාබහට ඉඳහිට සම්බන්ධ වුවද සේන හිඳින්නේ වෙනත් කුමක්දෝ නොඉවසිල්ලක බව ඔහුගේ ඉරියව් සූක්ෂමව නිරීක්ෂණය කරමින් සිටි ජයසුන්දර මැණිකේ වටහාගත්තාය. විටෙක දෙතොල් තදින් සපාගනියි, විටෙක ඉවත බලාගෙන කල්පනාවක ගැලී හිඳියි, විටෙක හිඳ සිටිනා බංකුවට දෑතේ ඇඟිලි තුඩුවලින් තට්ටු කරයි, විටෙක නැගිට සිටින්නට මෙන් දෙදණට දෑතේ බර දී බංකුවේ ඉදිරියට නැඹුරු වෙයි. අන් දිනෙකනම් දොට්ට පිළටවත් යන්නට වුවමනාදැයි අසා විහිළුවක් කොට හිනැහෙන්නට තිබූ නමුත් ඇයට එදින එවැන්නක් කරන්නට සිත් දුන්නේ නැත. සිය ඥාති දියණියගේ සේ ම මෙම තරුණයාගේ ද සිත දැඩි වේදනාවකින් පෙළෙනා බව ඇයට හඳුනාගන්නට අපහසු වූයේ නැත. අවසන රන් එතනා තේ බන්දේසිය රැගෙන ආ මොහොතේ වැඩිහිටියන්ගේ කතාබහට මඳ විරාමයක් ලැබුණු ඇසිල්ලේ සේන සිය ගැටළුව සභා ගැබට යොමු කළේය.

“කොහොමද ලොකු මැණිකේ පුංචි නෝනලා එහෙම?” ඔහු සිය නොඉවසිල්ල එම පළමු පැනය තුළ නොතවරා ඉන්නට තරම් සැලකිලිමත් විය.

“ඔය ඉන්නේ. දැන් විශ්වවිද්‍යාලේ වැඩ කටයුතුත් පටන්ගෙනනේ…” ජයසුන්දර මැණිකේ පිළිතුරු දුන්නේ ගණනකට නොගන්නා විලසිනි.

“ගියාට පස්සේ කතා කරන්ඩවත් නැතුව ඇති මයෙ හිතේ?”

“දෙතුන් දවසක් විතර කතා කළා. දැන් හරියට වැඩලු. නැතුවයැ ඉතින් විශ්වවිද්‍යාලෙක ඉගෙනගනිද්දි. වැඩි වෙලා කතා කළෙත් නෑ, විගහට තිබ්බා ෆෝන් එක.”

“එහෙමද…” සේන කල්පනාභරිතව දෙඩුවේය. තමා ගැන ඇසුවේ නැතිදැයි අසන්නට වලි කන දෙතොල් විකාගෙන ඔහු මොහොතක් බිම බලාගෙන සිටියේය. “මලී නගා යැව්වයි කිව්වා පුංචි නෝනාට ලියමනක්…”

“ආ, ලැබුණායි කිව්වා… දවසක් කතා කරපු වෙලාවක පරණ යාළුවෝ සේරම මතක් කළා කියන්නත් කිව්වේ…”

පරණ යාළුවෝ එවර නම් සේනගේ මුහුණ බෙහෙවින් අඳුරු වී ගියේය. හිස හරවා සිය පියා දෙස බැලූ ඔහු ආයාසයෙන් සිනහවක් මුව’ගට නගාගත්තේය. “පුංචි නෝනා ආසාවෙන් හිටියේ වෙසක් එකට රදාවෙල තොරණ බලන්න එන්න. ඒත් ඉක්මනට යන්න වුණානේ අපරාදේ…”

“ඒවා ඉතින් ඒ අම්මලා තාත්තලා දූලාගේ තීරණනේ. අපිට ඕවාට අත පොවන්න බෑනේ දරුවෝ…”

“පුංචි නෝනා ආයෙ කවදා විතර කතා කරයිද දන්නෙ නෑ නේද ලොකු මැණිකේ?”

“ඒකනං කියන්න දන්නෙ නෑ. ඇයි මොකවත් පණිවිඩයක් තියනවාද සේනක?”

සේන යළිත් තම පියා දෙස බලා හිස මොහොතක් තතනමින් හිඳ හඬ අවදි කළේය. “මාත් ලියමනක් යැව්වා පුංචි නෝනාට ලොකු මැණිකේ….. ඒක ලැබුණාද කියලා… මේ…..” ඒ මොහොතේ ලොකු හාමුගේ දෙබැම රැළි ගැන්වෙනු දුටුවේ රත්නපාල බාසුන්නැහේ පමණි.

“ආ, ඒක වෙන්න ඇති එහෙමනං, දෝණි කිව්වා තව ලියුං වාගයක් ලැබුණා කියලා. ඒ අතරේ සේනගේ ලියමනත් තියෙන්න ඇති. මං ඉතිං අර මලී කෙල්ල අහලා එවලා තිවුණ හන්දා විශේෂ කරලා ඇහැව්වේ ඒ ලියමන ගැන විතරයිනේ. ලැබෙන්න ඇති, ලැබෙන්න ඇති…” ජයසුන්දර මැණිකේ ඉතා සැහැල්ලු විලසින් එසේ පැවසුවද ඇගේ සිත තිබුණේ ගිනියම්ව ය. සිය සොහොයුරාට වූ පොරොන්දුවක් රකින්නට මෙතරම්ම මුසා බස් දොඩන්නට සිදු වනු ඇතැයි ඇය හෝ ඇගේ සැමියා හෝ මොහොතකටවත් සිතුවේ නැත.

එවර ලොකු හාමු උගුරේ රැල් බුරුල් ඇරියේය. “ඒක නෙවෙයි බාසුන්නැහේ, මං මේ අහන්න කියලමයි උන්නේ. මායි මැණිකෙයි කතා වුණේ අපි ගාණේ සිරිමලී කෙල්ලට ලී බඩු ටිකක් හදලා දෙන්න කියලා. බාසුන්නැහේට පුළුවනි නේද ඒ වැඩේ අපට කරලා දෙන්න?”

“පුළුවනි ලොකු හාමු. මංගල්ලෙට කළින් තිවුණානම් ඇති නෙව?”

“අපොයි ඒ ඇති…” සංවාදය නැවතත් ඔවුන් දෙදෙනා අත්පත් කරගත්හ.

සේනට සිතන්නට බොහෝ දෑ තිබිණි. ඇයට සිරිමලීගේ ලියමන ද, ඔහුගේ ලියමන් ද ලැබී ඇත. ඇය බංගලාවට දුරකතන ඇමතුම් ද දී ඇත. එසේනම් ඈ ඔහුට පණිවිඩයක් ලබා නොදුන්නේ මන්ද? ඇයට ඔහු හා කතා කරන්නට දෙයක් නැතිද? “ලොකු මැණිකෙලා මට මේ බොරු නෙවෙයි නේද කියන්නේ…?” ඔහුද නොදැනුවත්ව එම පැනය ඔහුගේ මුවින් පිට වූයේ වැඩිහිටියන්ගේ කතාබහට බාධා කරමිනි.

ජයසුන්දර දෙමහල්ලන් පමණක් නොව ඔහුගේ පියාද ඔහු දෙස හැරි බැලුවේ මහත් පුදුමයෙනි. “කොළුවො!” පියා සැර විය. 

තම මුවින් පිට වූයේ නුසුදුසු පැනයක් බව වැටහුණද, ගිය වදන් යළි ගිලගන්නට හැටියක් නොවූයෙන් සේන එම වදන් මගින් හෙළි පෙහෙළි කර දුන් මග ඔස්සේම පිය නගන්නට සිතාගත්තේය. “පුංචි නෝනා බංගලාවට කතා කරපු එක සැරයකවත් මාව ඇහැව්වේ නැද්ද ලොකු මැණිකේ?”

ජයසුන්දර යුවළ මුහුණින් මුහුණ බලාගත් හ.

“පුංචි නෝනා මට පොරොන්දු වුණා කතා කරනවා කියලා. මමත් පොරොන්දු වුණා පුංචි නෝනාට ලියනවා කියලා. එක ලියුමක් නෙවෙයි මේ වෙද්දි මං ලියුම් පහළොවක් විතර යවලා ඇති. ඒ සේරෝම ලැබෙන්නත් ඇති. කොච්චර වැඩ තිබුණත් පුංචි නෝනා මට කතා නොකර ඉන්නෙ නෑ. මට – “

“සේනක!” පියා ඔහුගේ කතාවට බාධා කරමින් හඬ උස් කළේය. තරුණයාගේ දෑස් බොර පැහැ ගැන්වී ඇති අන්දම වැඩිහිටි තිදෙනාම දුටුවෝය.

“මේ ඇයි හොඳයිකම් ඇති වුණේ එදා දෝණි දූපතට ආ දවසෙද සේනක?” ලොකු හාමු එසේ විමසද්දී ජයසුන්දර මැණිකේ ඔසරි පොටින් මුව වසාගෙන නිහඬව ඉවත බලා සිටියාය. ඇගේ සිතට දැනෙමින් තිබුණේ දරන්නට නොහැකි තරමේ සන්තාපයකි. 

“නෑ ලොකු හාමු…”

“එහෙනම් ඊට කළින් දවසේ සේනක මෙහෙ ආ වෙලාවෙද?”

සේනක එයටද හිස දෙපසට වැනුවේය. “ඒක සංසාරේ ඉඳන් ආපු බැඳීමක්… ලොකු හාමු මං-“

ඔහු තවත් කිසිවක් කියන්නට පෙර පියා විගසින් බංකුව මතින් නැගිට සේනවද නැගිටුවාගත්තේය. “යමං ගෙදර!” අනතුරුව ජයසුන්දර යුවළ දෙස බලා යටහත් ලෙසින් හිස වැනුවේය. “හිතේ අමාරුවට කියවන්නේ ලොකු හාමු. තරහා ගන්න එපා. මං තේරුම් කරන්නං. අපි ගොහිං එන්නම් එහෙමනං. ලොකු මැණිකේ, අවසරයි.”

සිය වැළමිට ඉහළින් අල්ලාගෙන බංගලාවෙන් ඉවතට ඇදගෙන යන පියාට සේන විරෝධයක් දැක්වූයේ නැත. බංගලාවේ දෙමහල්ලන් අබියස සිය සිත දියාරු වී දෙනෙතින් වැගිරෙන්නට පෙර එතැනින් පිටව එන්නට ලැබීම ගැන ඔහු එක් අතකින් අස්වැසිල්ලක් ලැබුවේය. නිවසට යන තුරුම වදනක් හෝ නොදෙඩූ සේන මොහොතක් වඩු මඩුවේ කෙටි බැම්ම මත වාඩි වී පොළොවට ඔරවාගෙන හිඳ අනතුරුව නැගිට වදන් දෙක තුනකින් පියාගෙන් සමුගෙන ඔරුවේ නැග දූපත බලා පිටව ගියේය. ඔහුට මඳක් එලෙස ඉන්නට ඉඩ හැරීම සුදුසු බව කල්පනා කළ රත්නපාල බාසුන්නැහේ සිය පුතුගේ කළණ මිතුරු ගුණදාස හමුවීමට යාමට මගට බැස්සේය.

පිටව ගිය පිය පුතුන් දෙස බලා හිඳ, තවත් බොහෝ වේලාවක් ගෙවෙන තුරු නිහඬවම සිටි ජයසුන්දර හාමු මහා දිගු සුසුමක් හෙලුවේය. “මොනවද මැණිකේ මේ වෙලා තියෙන්නේ…?”

ජයසුන්දර මැණිකේ ද ඒ හා සමාන සුසුමක් හෙලුවාය. “අද දාවලේ දෝණිත් කතා කරලා අඬ අඬා ඔය විස්තර සේරෝම කිව්වා අපෙ මහත්තයා…”

ජයසුන්දර හාමු ඈ දෙස බැලුවේ මහත් පුදුමයෙනි. “නෑ!?”

“ඔය අහාපු තාලෙන්ම මගෙන් ඇහැව්වා ‘නැන්දා මට මේ බොරු නෙවෙයි නේද කියන්නේ’ කියලා… ඒ හිත් කොයි තරම් බැඳිලාද බලන්න ඉවසං ඉඳලා ඉඳලා මෙහෙම එකම දවසක වැළපෙන්න තරම්…” ඇය දෙව්මිණිගෙන් දැනගත් මුළු කතාන්දරයම සිය සැමියාට හෙළි කොට අවසානයේ යළිත් දිගු සුසුමක් හෙලුවාය. “අපි මොන අපායක යන්ටද අපෙ මහත්තයා මෙහෙව් ආදරයක බැඳිච්ච දෙහිතක් වෙන් කරලා…”

“එහෙමය කියලා අපි මොකද කරන්නේ මැණිකේ? මැණිකෙගේ අයියාගේ හැටි දන්නවානේ? ඕවාට ඉඩ දේවියැ?”

“මං අපෙ මහත්තයාට නොකියා හිටියාට මොකද, එදා සේනක මෙහෙ ආ දවසේ අයියා කෑ ගගහා ගෝරනාඩු කරන්න ගත්ත අස්සේ ඒ දරුවෝ දෙන්නා එක ළඟ හිටං ඉන්දැද්දි මට එක විඩේම හිතුණේ මොන තරං යසට කැපෙන ජෝඩුවක්ද කියලා. මට එහෙම හිතුණාට ඉතිං ඒ ළමයින් එහෙම වගක් යාන්තමින්වත් ඇඟෙව්වායැ…”

“මටත් ඔය කාරණාව ඔය හැටියෙන්ම හිතුණා මැණිකේ දෙන්නා එදා ඔරුව පැදං එනවා දකිද්දි. නිස්කාරණේ වචන නහත්ති කරලා වැඩක් නැති නිසා මං නොකියා හිටියේ… අයියා ඔය මහන්තත්ත කම හිතට අරගෙන ඩෙඟා නැටුවාට සේනක වගේ හොඳ එකෙක් හොයාගන්න වෙන්නෙ නෑ ඒගොල්ලන්ට එංගලන්තෙන්වත්…..”

“අපි මොකද කරන්නේ අපේ මහත්තයා? අයියාට වෙච්චි පොරොන්දු අතෑරලා දෙන්නාට උදව් කරනවාද?”

“දෝණිගේ අම්මා එක්ක කතා කරලා බලමුද මැණිකේ ඩිංගක්?”

“අක්කා අයියාගෙ වචනෙට උඩින් යන කෙනෙක් නෙවෙයි… මට හිතෙන්නේ ඔය සේනක, සිරිමලී යවලා තියන ලියුම් දෝණි අතට ලැබිලා නැත්තෙත් අක්කලා ඒ ගැන මොකක් හරි පිළියමක් යොදලා වෙන්න ඕන…”

ජයසුන්දර හාමු කල්පනාභරිතව හිස සැලුවේය. “එහෙනම් මැණිකේ අපි මේකට අනුබල දෙන්න හොඳ නෑ. කොච්චර කළත් දෝණිට අම්මා තාත්තාට පිටුපාන්න හැටියක් තියනවායැ, එකම දරුවා වෙච්චිකොට. කාලයක් ඔහොම දුරස් වෙලා ඉන්දැද්දි මේ දරුවෝ හිත් හදාගනීවි…”

“එහෙමය කියලා තවත් බොරු කියන්නේ කොහොමද අපෙ මහත්තයා?”

“අපි ටෙලිෆෝන් එක ටික කාලෙකට ගලවලා තියමු…..” අවසන් තීරණය එසේ විය.

ඉන් මතුවට බංගලාවට දුරකතන ඇමතුම් ලැබුණේ නැත. පළමු අවුරුද්ද පුරා සතියක් පාසා සේන යැවූ ලියුම් මසකට එක් ලියුමක් දක්වා අඩු විය. නමුත් දෙව්මිණි කෙරේ ඔහුගේ සිතෙහි වූ ආදරය එක් බිඳුවකින් හෝ අඩු වූයේ නැත. සේන හට යථාර්ථය අවබෝධ කර දෙන්නට ඔහුගේ පියා කොතෙකුත් උත්සාහ කළද, ගුණදාසත් සිරිමලීත් දෙව්මිණිගේ පැරණි පෙම්වතා ගැන පවා කරුණු කියා පාමින් ඔහුගේ සිත වෙනස් කරවන්නට උත්සාහ කළද අන්ධකාරයේම ගිලී තිබූ ඔහුගේ සිත, එක් තැනැත්තියකගේ මුදු වදන් වැලක් හේතුවෙන් සිහින් ආලෝක බිඳක එල්බගෙන තිබිණි. 

“කවුරු කොහොම කීවත් හිතේ විශ්වාසෙයි, බලාපොරොත්තුවයි නැති කරගන්න එපා අයියේ. හැම දේම නැති වෙච්ච වෙලාවක අපිට ඉතුරුවෙන්නේ එච්චරයි…” ලීලා එසේ පැවසුවේ කැටයම් කටුව ලිස්සා ගොස් සේනගේ අත දරුණු ලෙස තුවාල වී වෙද නිවසෙන් ප්‍රතිකාර ගන්නට සිදු වූ වතාවකදීය. වෙද කාමරයේ හිඳගෙන සිය දෑතින්ම ඔහුගේ තුවාළයට ප්‍රතිකාර කළ ඇය එසේ පැවසුවේ උදෑසන පටන් පෝලිමේ රැඳී සිටි රෝගීන්ට ප්‍රතිකාර කරනා සිය පියාට නෑසෙන්නටය. මුළු ගමම දැන සිටි ඔහුගේ කතාන්දරය ඈ දැන නොසිටින්නට හේතුවක් නැත. කලෙකට පසුව ඔහුගේ මුවග මඳ සිනහවක් දල්වන්නට ඇගේ එම වදන්වලට හැකි විය. එනමුත් යුවතියගේ දෑස් තුළ පිරී තිබූ වේදනාව ඒ මොහොතේ තම දෑත් දෙස බලාගෙන සිටි ඔහු දුටුවේ නැත.

පසුගිය සතියේ කොටස මෙතැනින් –

මුදිතා ලක්මිණි වැන්දබෝනා

Similar Posts